මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය ආර්ථිකය දියුණු කිරීමට මෙවර අයවැයෙන් ප්‍රමුඛතාවය දෙනවා - සංචාරක අමාත්‍ය

    සැප්තැම්බර් 29, 2021

    ආණ්ඩුට එරෙහි විවේචනවලට නිවැරදි පිළිතූරු නොදුන්නොත් සියයට තුන බොරු වලට ජනතාව රැවටෙන්න ඉඩ ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විවධ බොරු ප්‍රචාරන කරන බවත් ඒ නිසා ආණ්ඩුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් විවිධ දුර්මත රට තුල පැතිර යාමට පටන්ගෙන ඇති බවත් පෙන්වා දුන් ඇමතිවරයා ඒවා නිවැරදි කර ආණ්ඩුව මෙන්ම පක්ෂයද ආරක්ෂා කර ගැනීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන්ගේ සහ පාක්ෂිකයන්ගේ වගකීමක් බවද පෙන්වා දෙයි.

    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ''2022 ඔබට අය වැයෙන්''නමින් පැවැත්වෙන රැස්වීම් මාලාවේ කැස්බෑව ආසනයේ රැස්වීම අමතමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

    ''ග්‍රාමීය සංවර්ධන කමිටු සමග සම්බන්ධ වෙලා ගම සංවර්ධනය කරන යෝජනා හඳුනා ගැනීම මේ දිනවල සිදු කෙරෙනවා. ගමම එක තැනකට එකතු කරලා කොට්ඨාසයට අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති හදුනාගන්න ඕනෑ. ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහා සියයට හතළිහක් වෙන් වෙනවා. ඒ මුදල් යොදාගෙන සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍ර වල සිටින අය නගා සිටවූවොත් ඒ බදු මුදල් වලින් රටේ ආර්ථිකය නගා සිටුවන්න පුළුවන්. පොදු යටිතල පහසුකම් සඳහා තවත් සියයට හතළිහක් වෙන් වෙනවා.පරිසර හා තිරසර සංවර්ධනයට සියයට දහයක්, සමාජ සුභසාධන කටයුතු වලට තවත් සියයට දහයක් වෙන් කරන්න පුළුවන්. ග්‍රාමසේවක වසම් මට්ටමෙන් රාජ්‍ය නිලධාරීන් කැඳවලා ගම ම එතැනට එකතුවෙලා ගමට ලැබිලා තියෙන ප්‍රතිපාදන ගැන දැනුවත් කරලා, ගමේ යෝජනා ටික හඳුනාගෙන යෝජනා අපට භාර දෙන්න. ජනවාරි මාසේ ඉඳලා ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න අපි
    කටයුතු කරනවා. එහි ප්‍රතිඵලය ලැබුණම දක්ෂ මන්ත්‍රීවරුන්ට තමන්ගේ ගම දියුණු කරගන්න පුළුවන්. ගමේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන්න ඔබට සවියක් වෙන්න වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සූදානම්.

    ගමේම අදහස් අරගෙනයි මේ කටයුතු ඉදිරියට ගෙනියන්නෙ. සමහර මන්ත්‍රීවරුන් කාණු හදන්න කැමතියි. ඒ උනාට හිතු හිතු විදියට දැන් ඒව කරන්න බෑ. ගමේ ව්‍යවසායකයෝ හඳුන ගන්න ඕනේ. ගම සංචාරක ව්‍යාපාරය සමඟ සම්බන්ධ නම් ගමේ පුද්ගලික ව්‍යවසායකයෝ ඇති කරන්න මේ මුදල්වලින් හැකියාව ලැබෙනවා. ගම වඩු කර්මාන්තයට ප්‍රසිද්ධ නම් වඩු කර්මාන්තය දියුණු කරන්න මේ මුදල්වලින් පුළුවන්කම ලැබෙනවා.ගමේ පාරවල් ටික හදාගන්න පුළුවන්. පාසල් දියුණු කරන්න ප්‍රතිපාදන වෙන් කර ගන්න පුළුවන්. ඒ සඳහා ඔබ ගමේ නායකත්වය ගෙන කටයුතු කරන්න.

    කොවිඩ් වසංගතයෙන් අපි ඉගෙන ගත්ත පාඩම් තියෙනවා. රටවල් වහපුවම අපේ රටට බඩු එන්නේ නැහැ.ලෝකයේ අනෙක් රටවල් තමන්ගෙ රටවල් දියුණු කරද්දි අපි වගේ රටවල් අනෙක් රටවල් මත යැපෙන එක මේ වෙලාවෙ සෑහෙන්න බලපෑවා. දේශීය ආර්ථිකය දියුණු කර ගැනීමට අවශ්‍ය පියවර අපි ක්‍රියාත්මක කරන්න ඕනේ.වර්තමාන මුදල් ඇමතිවරයා උත්සාහ කරන්නේ ඒකටයි. සමහරු ආණ්ඩුවේ කැබිනට් එකේ වාඩිවෙලා ඉඳගෙන කැබිනට් යෝජනා එලියට ඇවිත් විවේචනය කරනවා. එහෙම කරන්න බැහැ. ඒක කරන්න තිබුනේ කැබිනට් එකේදියි. කැබිනට් එකේ තීන්දුවක් ගත්තම අපි හැමෝටම ඒ තීන්දුවට සාමූහිකව වගකියනවා. හරි වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඔබතුමන්ලාත් ආසන සංවිධායකවරයා සමඟ එකතු වෙලා එක වැඩ පිළිවෙලක් ආසනය තුළ ගෙන ගියොත් අපේ ඉලක්ක සම්පූර්ණ කරගන්න පුළුවන්.

    යුද්ධය අවසාන කාලයේ මේ රටට විදේශිකයො ආවේ ලක්ෂ තුනක් හතරක් වගේ. යුද්ධයක් තියෙන රටකට ආයෝජකයෝ එන්නෙ නැහ. මේ රටේ ආයෝජනය කරන්න හිටපු මිනිස්සු වෙනත් රටවල ආයෝජනය කළා. ඇඟලුම් කර්මාන්තය මුලින්ම පටන් ගත්තේ ලංකාවේ. අපේ රටේ වෘත්තීය ක්‍රියාමාර්ග හා යුද්ධය නිසා ආයෝජකයෝ අපේ රටෙන් ගියා. අද බංගලිදේශය ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉදිරියට ඇවිත්. මේවා ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරන එක අපේ වගකීමක්. අපි එකතුවෙලා කටයුතු කළොත් රට දිනවන්න පුළුවන්.

    විවේචන එල්ල වෙනකොට ඒ ගැන අපෙන් අහන්න. විවේචන වලට අපි හරියට උත්තර නොදුන්නොත් සියයට තුන බොරුවෙන් රට පාලනය කරනවා. ඒකට ඉඩ තියන්න එපා. පක්ෂය ශක්තිමත් වුණොත් ආණ්ඩුව ශක්තිමත් වෙනවා. පක්ෂය දුර්වල වුණොත් ආණ්ඩුව දුර්වල වෙනවා. මේක අපි අත්දැකීමෙන් කියන්නෙ. පක්ෂය ශක්තිමත් කිරීමේ වගකීම තියෙන්නෙත්
    අපිට. ගමේ ශාඛාව ශක්තිමත් කරලා, ජනතාව ශක්තිමත් කරපුවම අපිට පුළුවන් බොරු වලට උත්තර දෙන්න. සමාජ මාධ්‍ය වල වැඩිපුරම යන්නේ බොරු.

    රසායනික පොහොර විස නාසක නතර කරන්න වසර ගණනාවක සිට උත්සහ කරනවා. මහා පරිමාණ රසායනික පොහොර ව්‍යාපාරිකයන් සිටිනවා. ඒ උනාට ඒ අය තමන්ගේ ළමයින්ට කන්න දෙන්නෙ කාබනික පොහොර යොදන නිවසේ පාවිච්චියට හදාගන්න එළවළු.අපට දෙනවා විස රසායනික කෑම ටික.අද පිළිකා රෝහලේ තත්ත්වය බලන්න. පිලිකා රෝහලේ රෝගීන් වැඩි නිසා අලුතෙන් රෝහල් හදනවා. වකුගඩු රෝහල් හදනවා. රෝහල්වල වකුගඩු වාට්ටු වෙන් කරනවා. නමුත්, රසායනික පොහොර භාවිතය නතර කරන්න උදව් කරන්නේ නැහැ. ජනාධිපතිතුමා ඒ අභියෝගයට මුහුණ දෙන්න සූදානම්.

    මේ නිසා ගොවියන්ට ප්‍රශ්නයක් තියෙන බව අපි දන්නවා. කෙටි කාලයක් ඉවසීමෙන් මේ තත්ත්වයට මුහුණ දුන්නොත් විසඳුම් හොයා ගන්න පුළුවන්. ගමට අවශ්‍ය කරන කාබනික පොහොර හදන්න හදන්න ව්‍යවසායකයෙක් ඉදිරිපත් වෙනවා නම් ඔහුට අවස්ථාව දෙන්න ඕන.ඊලග අවුරුද්දට අපිට මේ තරම් කාබනික පොහොර ප්‍රමාණයක් අවශ්‍යයි , ගමට අවශ්‍ය පොහොර ගමේම හදාගන්නම් කියලා කියන්න පුළුවන්.

    පක්ෂයට ආදරය කරන රජයත් එක්ක කටයුතු කරනවගකීමෙන් කටයුතු කරන අයයි මෙතන ඉන්නේ.ආසන සංවිධායකවරයා සමග එකතු වෙලා අයවැයෙන් ගමට ලැබෙන මුදල් ඉදිරි දැක්මක් ඇතිව වැය කරලා ගම සංවර්ධනය කරන්න, තමන්ගේ කොට්ඨාසය සංවර්ධනය කරන්න කටයුතු කරන්නයි කියලා ඉල්ලා සිටිනවා.''

    මෙම අවස්ථාවට අමාත්‍ය ගාමිණී ලොකුගේ , පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන යන අයද සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya