මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන ඇමති රාජකාරි අරඹයි

    අගෝස්තු 20, 2021

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභියෝග රැසක් මතුව ඇති අවස්ථාවක බොරළුගොඩ සිංහ පරපුරේ සාමාජිකයෙකුට අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම පැවරීම ඵෙතිහාසික සිදුවීමක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් උපදේශක අතිපූජ්‍ය දොඩම්පහළ රාහුල හිමියෝ සඳහන් කළහ.

    අභිනවයෙන් අධ්‍යාපන අමාත්‍යධූරයට පත් දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (19) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී රාජකාරි බාර ගැනීම වෙනුවෙන් ආශිර්වාද කරමින් රාහුල හිමියෝ මේ බව සඳහන් කළහ.

    මේ අවස්ථාවට නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්, පිරිවෙන් අධ්‍යක්ෂ වටිනාපහ සෝමානන්ද නාහිමියන් ද වැඩම කර සිටියහ.

    හිටපු අධ්‍යාපන අමාත්‍යවරු වන ජී.එල්. පීරිස්, බන්ධුල ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරු සමඟ අධ්‍යාපන අමාත්‍යංශයට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශය බාරව සිටින විජිත බේරුගොඩ, පියල් නිශාන්ත යන අමාත්‍යවරුන් ද අභිනව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සුබ පැතීම සඳහා එක්ව සිටියහ.

    මෙහිදී අනුශාසනාවක් පැවැත්වූ දොඩම්පහළ රාහුල හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ හිටපු අධ්‍යාපන අමාත්‍යවරු තිදෙනෙකු ඉදිරිපිට නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා රාජකාරි ආරම්භ කිරීම ද ඵෙතිහාසික සිදුවීමක් බවයි.
    “අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභියෝග රැසක් තිබෙනවා. මේ අභියෝග ජය ගත හැකියි. රොබට් ගුණවර්ධන, පිලිප් ගුණවර්ධන වැනි රටට ආදරය කළ බොරඵගොඩ සිංහ පරපුරේ සාමාජිකයකු වන දිනේෂ් ගුණවර්ධනයන්ට මේ අභියෝග ජය ගැනීම සහජ හැකියාවක් ඇතැයි තමන් විශ්වාස කරන බව ද රාහුල හිමියෝ සඳහන් කළහ. ආගමික වතාවත් වලින් පසුව අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් හමුවූ අමාත්‍ය ගුණවර්ධනයන් සඳහන් කළේ මෙරට සිසුන් හා ඔවුන්ගේ දෙමාපියන් ගේ අපේක්ෂාව දරු පරපුර දැනුමෙන් සන්නද්ධ කිරීම බැවින් තම අපේක්ෂාව ඉටු කර ගැනීමට සහයවීම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම බවය”.

    “දැනුම තමයි ක්ෂේත්‍රයේ උසස්ම සම්පත. සමාජයේ අනෙක් මොන සම්පත් තිබුණත් විනාශ වෙනවා. නමුත් දැනුම නැමැති සම්පත විනාශ නොවී දිනෙන් දින අලුත් වෙනවා. මේ නිසයි අධ්‍යාපන අමාත්‍යාංශයට විශාල ගෞරවයක් හිමි වන්නේ.
    ඩොනමෝර් ආණ්ඩුකාරවරයාගේ කාලයේ අධ්‍යාපනයට බාධා එල්ල වුණා. ඒ සියලු බාධා ජය ගනිමින් සි.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමා එදා නිදහස් අධ්‍යාපන පනත එක වැඩි ඡන්දයකින් සම්මත කර ගත්තා. එදා ඒ සම්මත කර ගත් පනත නිසා මේ වනවිට අලුත් අලුත් මාර්ග ඔස්සේ දැනුම බෙදා දෙන ක්‍රම බිහිවී ඇති බව” ද අමාත්‍යවරයා කීවේය.
    “අපේ දරුවන් බොහෝ දෙනෙක් අතරමඟ පාසල් හැර යනවා. ඒ අය සමාජයේ ශක්තිමත් පුරවැසියන් බවට පත් කරන්න පශ්චාත් අධ්‍යාපන ආයතන වැඩි වශයෙන් බිහි කළ යුතුයි. ජපානයෙන් රූපවාහිනි යන්ත්‍රය අපට දුන්නේ දැනුම දියුණු කරන සම්පතක් කියලයි. නමුත් අපි මේ දක්වා රූපවාහිනි, ගුවන්විදුලි වැනි විද්‍යුත් සන්නිවේදන ක්‍රමවේද දැනුම දියුණු කිරීම සඳහා යොදා ගෙන ඇත්දැයි විමසා බැලිය යුතු බව ” ද ගුණවර්ධන මහතා කීවේය.
    මෙහිදී අදහස් දැක්වූ හිටපු අධ්‍යාපන අමාත්‍ය වත්මන් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පෙන්වා දුන්නේ ඉකුත් දෙවසරක කාලය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභියෝග ජය ගන්න ඵලදායී ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කර ඇති බවය. විශේෂයෙන් අ.පො.ස. (උ.පෙළ) විභාගය පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහාය ජී.එල්. පීරිස් මහතාගේ ඇගයීමට ලක් විය.
    “අද රාජකාරි බාරගත් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා, කියන දේ කරන අවංක, එඩිතර දේශපාලනඥයෙක්. එතුමාගේ වචනයක් කිව්වොත් එය ගිවිසුම් වලට වඩා ප්‍රබලයි. කරනවා කිව්වොත් ඒ දේ කරනවාමයි. ගුණවර්ධන මහතා සමඟ දීර්ඝ කාලයක් කටයුතු කරලා ඒ අත්දැකීම මට තියෙනවා. ඒ වගේම අපි අමතක කරන්න හොඳ නෑ, අපිට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයත් අහිමි කාලයේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයා විදියට එතුමා කළ කාර්ය. අද අපිට මේ ආකාරයෙන් රජයක් පිහිටුවා ගැනීමට මහත් සේ උපකාරි වූ බව ද පීරිස් මහතා කීවේය.
    හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු වූ වත්මන් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද මෙහිදී අදහස් දැක්වූහ. අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා රැස්වීම මෙහෙය වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya