මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට අවශ්‍ය ඖෂධ මෙරටදී නිෂ්පාදනය කර බෙදා හැරීමේ පුළුල් ජාතික වැඩසටහනක්

    අගෝස්තු 08, 2021

    පසුගිය වසර එක හමාරක කොවිඩ් වසංගත කාලය තුළ ලංකාවේ පමණක් නොව දකුණු ආසියානු කලාපයේ ද ලෙවොතයිරොක්සින් ඖෂධය සොයා ගැනීමට අපහසු වූ බවත්, පෞද්ගලික අංශය විසින් එය මිල දී ගැනීමේ දී එම ඖෂධය අධික මිලකින් යුතු බවත්,එබැවින් අප රටේ රෝගීන් විශාල පිරිසක් භාවිත කරන ලෙවොතයිරොක්සින් ඖෂධය මෙරට තුළ නිෂ්පාදනය කිරීමට තීරණය කළ බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් සහ නියාමන ගරු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ එළිදැක්වීමේ උළෙලේ දී පැවසීය

    එසේම ඒ අවස්ථාවේ දී එළිදැක්වූ ට්‍රැමඩෝල් කරල් පිළිබඳව ද අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ට්‍රැමඩෝල් යනු ඉතා විශාල බලයක් සහිත ඉහළම වේදනා නාශකයක් බවත්, එය ද මෙරට තුළ නිෂ්පාදනය කරන බවත් ය.

    අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්මට” සමගාමීව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශය මගින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව හරහා සිදු කරන “අලුත්
    රටට අලුත් බෙහෙත්” තේමාව යටතේ රටට අවශ්‍ය ඖෂධ මෙරට තුළම නිෂ්පාදනය කර බෙදා හැරීමේ පුළුල් ජාතික වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස දේශීයව නිෂ්පාදනය කළ ට්‍රැමඩෝල් කරල් (Tramadol Capsules. 1p-50mg) හා ලෙවොතයිරොක්සින් පෙති (Levothyroxine Tablets 1p 50 mg) වෙ‍ෙ‍ළඳපොළට නිකුත් කිරීම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා (SPMC) පරිශ්‍රයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (6)දින සිදුවිය.

    ට්‍රැමඩෝල් මි.ග්‍රෑ. 50 (Tramadol Capsules. 1p-50mg) කරල්වල වාර්ෂික අවශ්‍යතාව මිලි 9.8 ක් හා ලෙවොතයිරොක්සින් මි.ග්‍රෑ. 50 (Levothyroxine Tablets 1p 50 mg) කරල්වල වාර්ෂික අවශ්‍යතාව මිලි. 98 පමණ වන අතර, එම ඖෂධ මෙරටට ආනයනය කිරීම සඳහා රජය මේ දක්වා විශාල මුදලක් වැය කර ඇත.

    ශ්‍රී ලංකාවේ ඖෂධ අවශ්‍යතාවයෙන් 20% ක් පමණ දැනට දේශීයව නිෂ්පාදනය කරනු ලබන අතර, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම”ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙය 50% ත් 60% අතර ප්‍රමාණයකින් ඉහළ නැංවීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව බලාපොරොත්තු වේ. මෙමගින් මෙරට ඖෂධ ආනයනය කිරීම සඳහා වැය වන විදේශ විනිමය රට තුළම ඉතිරි කරගැනීමට හැකිවන අතර, තත්ත්වයෙන් උසස් ඖෂධ නැවුම්ව රෝගීන්ට ලබා දීමට හැකිවීම, රැකියා අවස්ථා වැඩි වීම හා රට තුළ ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණය වර්ධනය වීම ද මෙමගින් සිදු වේ.

    මෙම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තන් ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැර කිරීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා, ඖෂධ නිෂ්පාදනය, සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා හා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා සහභාගි විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya