මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ලැයිස්තුවෙන් හරි අඩක් කාන්තාවන් වෙනුවෙන් ලැබිය යුතු බවට යෝජනාවක්

    අගෝස්තු 06, 2021

    ජාතික ලැයිස්තුවෙන් හරි අඩක් කාන්තාවන් වෙනුවෙන් ලැබිය යුතු බවට මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අගෝස්තු (04) යෝජනා කළේය.

    ඒ සංසදය වෙනුවෙන් කාරක සභාවේදී අදහස් දැක්වූ එහි සභාපති රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ පාර්ලිමේන්තුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට 30 දක්වා වර්ධනය කළ යුතු බවයි.


    රාජ්‍ය මණ්ඩල සහ කොමිෂන් සභාවල කාන්තා නියෝජනය සියයට 33 ක් දක්වා ඉහළ නැංවිය යුතු බවද ඇය කාරක සභාවේදී යෝජනා කළාය. සියලු මැතිවරණ සඳහා එකම නීතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය මෙහිදී පෙන්වා දුන්නේය. වර්තමානයේදී කාන්තාවන්ට අපේක්ෂකත්වය ලබා ගැනීමද ගැටලුවකි. කාන්තාවන් පිළිබඳව සමාජයේ ආකල්ප වෙනසක්ද ඇතිවිය යුතුය. දැනට පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය කාන්තාවන්ට එතරම් හිතකර නොවන බවද ඇය සඳහන් කළාය. රට තුළ දේශපාලන ප්‍රචන්ඩත්වය ඇතිවීම ද දේශපාලනයේ කාන්තා නියෝජනය අවම වීමට හේතුවී තිබෙන බව ඇය අවධාරණය කළාය.


    දේශපාලන පක්ෂ තුල කාන්තාවන්ට ඉහළ මට්ටමේ නිලතල නොලැබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ජා විය. පළාත් පාලන ක්‍රමයේදී මෙන්ම, මීට පෙර යෝජිත පළාත් සභා ජන්ද ක්‍රමය තුළ කාන්තා නීයෝජනයට ඉහළ ඉඩක් වෙන්ව තිබූ බව කාරක සභාවේ සභාපති, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.

     රටේ දැනට පවතින මනාප ක්‍රමය අහෝසි නොකර කාන්තාවන්ට දේශපාලනයේ වැඩි අවස්ථාවක් ලබා දිය නොහැකි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කාරක සභාවේදී කීවේය. ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර පත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බවද අමාත්‍යවරයා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

    වර්තමාන මැතිවරණ ක්‍රමය කාන්තාවන්ගේ දේශපාලන නියෝජනය ඉහළ නැංවීම වෙනුවෙන් ගැලපිය නොහැකි බව අමාත්‍ය මහාචාර්‍ය ජී.ඇල් පීරීස් මහතා කීවේය.

    මැතිවරණවලට ඉදිරිපත් කරන අපේක්ෂිකාවන්ගේ සංඛ්‍යාව නිශ්චිත කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කාරක සභාවේදී සඳහන් කළේය.
    කාන්තාවන්ට විශාල සංවිධාන ශක්තියක් ග්‍රාමිය මට්ටමේ සිට පවතින බවත්,කාන්තාවන් දේශපාලනීකරණය නොවීම සංස්කෘතික ප්‍රශ්නයක් බවත් කාරක සභාවේදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ පැවසූහ.

    දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම වෙනුවෙන් අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කිරීම සඳහා සිවිල් සංවිධානවලට විශාල කාර්‍යභාරයක් ඉටුකළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබංඩාර මහතා කාරක සභාවේදී කීවේය. පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ දැනට පවතින සියයට 25 ක් කෝටාව ස්ථාවරව පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය බව කාරක සභාවේදී අදහස් දැක් වූ කාන්තා දේශපාලන පීඨයේ ප්‍රධානී නීතිඥ නිමල්කා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.

    කාන්තාවන්ට නායකත්ව පුහුණුව ලබා දීම වෙනුවෙන් දේශපාලන පක්ෂ කටයුතු කළ යුතු බවත්, පාර්ලිමේන්තුව සහ පළාත් සභා තුළ කාන්තා නියෝජනය සියයට 30 දක්වා ඉහළ නැංවිය යුතු බවත් ඇය මෙහිදී යෝජනා කළාය. ජාතික ලැයිස්තුවෙන් සියයට 30ක් කාන්තාවන්ට ලැබෙන පරිදි නව ක්‍රමවේදයක් සැකසිය යුතු බවද නිමල්කා ප්‍රනාන්දු මහත්මිය මෙහිදී අවධාරණය කළාය.

    පෞද්ගලික අංශයේ සේවයේ නියුතුවූවන්ට ද තැපැල් ජන්දය භාවිත කළ හැකි වන පරිදි නව ක්‍රමවේදයක් සැකසිය යුතු බව කාරක සභාව හමුවේ අදහස් දැක් වූ වීල් සමාජය පැවසීය.
    මැතිවරණ වියදම අවම කිරීම කෙරෙහි නව ප්‍රතිසංස්කරණ වලදී විශේෂ අවධානයක් යොමු විය යුතු බවත්, මැතිවරණ වාර්තාකරණයේ යෙදෙන ජනමාධ්‍ය වෙනුවෙන් මාර්ගෝපදේශ සංග්‍රහයක් සැකසිය යුතු බවත් කාරක සභාව හමුවේ අදහස් දැක් වූ යෙහෙළිය පදනම සඳහන් කළේය.
    මැතිවරණ වලට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත්වීම අත්‍යාවශ්‍ය බව ගංගොඩවිල එක්සත් සමාජ සේවා කාන්තා සමාජය කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් අවධාරණය කළේය.

    මෙම කාරක සභා රැස්වීමේදී කාන්තා සංවිධාන 05 ක් සිය යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. එමෙන්ම මීළඟ කාරක සභා රැස්වීම අගෝස්තු 11 වැනිදා පැවැත්වීමට නියමිත
    බව කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂාණී රෝහණධීර මහත්මිය පැවසුවාය.

    මෙම කාරක සභා රැස්වීමට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්‍ය ජී.එල් පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර දිසානායක, කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, එම්.ඒ.සුමන්තිරන්, මනෝ ගනේෂන්, මධුර විතානගේ සහ සාගර කාරියවසම්, යන මහත්වරුද සහභාගි වූහ.
    මේ අවස්ථාවට මැතිවරණ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරිහු ද සභභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya