මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝනොවන රෝගවලට ඖෂධ ලබාගන්නා රෝගීන්ට එන්නත ලබාගැනීමට කිසිදු බාධාවක් නැහැ- විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද

    අගෝස්තු 02, 2021

    ඉන්සියුලීන් ලබාගන්නා රෝගීන් ඇතුළු සියලු දියවැඩියා ඇතුළු බෝ නොවන රෝගවලට ඖෂධ ලබාගන්නා රෝගීන්ට කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමට කිසිදු බාධාවක් නොවන බව කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, දියවැඩියාව සහ අන්තරාසර්ග පද්ධතිය පිළිබද විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ අද (02) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති කොවිඩ් වසංගත තත්ත්වය පිළිබදව විශේෂ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.

    ඉන්සියුලින් ලබාගන්නා අතර කොවිඩ් එන්නත ලබාගැනීම සම්බන්ධව බොහෝ දෙනෙකු බිය වන බවද, ඉන්සියුලීන් ලබාගැනීම සහ කොවිඩ් එන්නත ලබාගැනීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවද ඔහු කියා සිටියේය.

    මෙහිදී ලබාගැනීමට වඩාත්ම සුදුසු කුමන එන්නතද යනුවෙන් ඇතමුන් විමසන බවද, ඕනෑම එන්නතක් පහසුවෙන් ලබාගැනීමේ හැකියාව තවමත් ලොව කිසිදු රටකට නොමැති බැවින් මෙහිදී කුමන හෝ ප්‍රථමයෙන් ලැබෙන එන්නත ලබාගැනීමට කටයුතු කරන ලෙස ඔහු රෝගීන්ගෙන් ඉල්ලා සිටියි.

    දියවැඩියා රෝගීන්ට, අනෙකුත් රෝගීන්ට සාපේක්ෂව කොවිඩ් සෑදීමේ ප්‍රවණතාවය වැඩි යැයි තවම සොයාගෙන නොමැති බවද, එහෙත් සොයාගෙන ඇති කාරණයක් වනුයේ අනෙකුත් අයට සාපේක්ෂව දියවැඩියා රෝගීන්ට සංකූලතා මතුවීම සහ මියයෑමේ ප්‍රවණතාවය වැඩි බවද විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා ප්‍රකාශ කළේය.

    කොවිඩ් මරණ වලින් වැඩි ප්‍රමාණයක් දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග, ශ්වසන රෝග සහ බෝ නොවන රෝග වලින් පෙළෙන්නන් අතර සිදුවන බවද, ඉන්සියුලින් සහ විවිධ ඖෂධ ලබාගැනීම හේතුවෙන් බොහෝ රෝගීන් එන්නත ලබානොගෙන සිටින අතර එය ඉතාමත් භයානක තත්ත්වයක් බවද වෛද්‍යවරයා අවධාරණය කළේය.

    ලොව පුරා අන්තර්ජාතික දියවැඩියා සංගම්, විද්‍යායතන, හෘද රෝග සංගම්, බෝ නොවන රෝග පිළිබද සියලු විද්‍යායතන හා සංගම් දියවැඩියාව සහ බෝ නොවන රෝග ඇති රෝගීන්ට කොවිඩ් එන්නත ලබාදීමට ප්‍රමුඛතාවයක් ලබාදිය යුතු බව ප්‍රත්‍යක්ෂ ලෙස ප්‍රකාශ කර ඇතැයිද ඔහු සදහන් කළේය.

    සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති නවතම චක්‍රලේඛය අනූව පළමු කාණ්ඩයේ දියවැඩියාව ඇති එනම්, තරුණ, දියවැඩියාව සහිත ඉන්සියුලීන් ලබාගන්නා පුද්ගලයන් සදහා අවුරුදු 30ට අඩු වුවද එන්නත ලබාදෙන ලෙස සදහන් කර ඇතැයිද වෛද්‍යවරයා පැවසුවේය.

    දියවැඩියාව සහ බෝ නොවන රෝග වලින් පෙළෙන සියලුදෙනා තමාට එන්නත ලබාගැනීම ඉතාම අවශ්‍ය යැයි සලකා කටයුතු කරන ලෙසත්, ඒ සදහා තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගනිමින් යුහුසුලුව එන්නත ලබාගැනීමට යොමු වන ලෙසත් අදාල රෝගීන්ගේ පවුල් වල සාමාජිකයින්ද ඔවුන්ට ඒ සදහා උදවු කරන ලෙසත් විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා ඉල්ලා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya