මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුනර්ජනනීය බලශක්තිය 70%ක දක්වා ඉහළ නැංවීමට රජයේ තෝරාගත් රෝහල් 15 ක සූර්ය විදුලි උත්පාදනය කඩිනමින් අරඔනවා -රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක.

    ජූලි 31, 2021

    සූර්ය පැනල ස්ථාපිත කර තෝරාගත් රජයේ රෝහල් පහළොවක ( 15) පුනර්ජනනීය විදුලිය උත්පාදනය කිරීම සම්බන්ධ ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිළිබඳව පූර්ව සාකච්ඡාව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා සූර්යබල , සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අතර ( 28) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාගයේ දැක්ම” ප්‍රතිපත්ති මාලාවට අනුව 2030 වන විට පුනර්ජනනීය බල ශක්ති භාවිතය 70%ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂිත අතර සූර්යබල , සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මඟින් එම ඉලක්කය සපුරා ගැනීම පිණිස ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් දැනටමත් ආරම්භ කර තිබේ.

    එහි තවත් එක් ව්‍යාපෘතියක් ලෙසින් රජයේ රෝහල්වල වහල මත සූර්ය පැනල සවි කිරීමෙන් පුනර්ජනනීය විදුලිය උත්පාදනය කිරීමට නියමිතය. එහි නියමු ව්‍යාපෘතිය තෝරාගත් රජයේ රෝහල් පහළොවක ( 15) ආරම්භ කිරීමට මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතියි.

    මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -

    “ මෙම ව්‍යාපෘතියට අදාළ ව්‍යාපෘති වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් අපට ලැබුණු ව්‍යාපෘති වාර්තාවක්. මෙහි ව්‍යාපාරික ආකෘතිය ( Business Model) කුමක් ද යන්න අපට වැදගත් වන්නේ නැහැ . එහි මූලික සැලැස්ම ඔබගේ අමාත්‍යාංශය මඟින් සැලසුම් කිරීමෙන් පසු , අපට ලබා දීමට කටයුතු කරන්න. ඒ අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට අපගේ අමාත්‍යාංශය කටයුතු කරනවා . රජයේ රෝහල්වල වහල මත සූර්ය පැනල සවි කිරීමෙන් අනතුරුව එම පුනර්ජනනීය බලශක්තිය මිල දී ගැනීමට අප කටයුතු කරනවා. ඒ අනුව ඒ ආදායමෙන් යම් ප්‍රතිශතයක් අදාළ රෝහලට ලබා දීමට ද කටයුතු කරනවා . ඒ අනුව එම රෝහලට සිය මාසික විදුලි බිල අඩු කර ගන්නා අතරතුරම යම් ආදායමක් ලබා ගැනීමටත් හැකියාව පවතිනවා. මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන ප්‍රතිපත්ති සකස් කිරිමට අප අමාත්‍යාංශය කඩිනමින් පියවර ගැනීමට සුදානම්”

    අනතුරුව මෙකී ව්‍යාපෘතියේ ඉදිරි සැලසුම් පිළිබඳව පූර්ණ විස්තර කිරීමක් සිදු කළ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ” පුනර්ජනනීය බලශක්තිය භාවිතය කරා ගමන් කිරීමේ දී අපි පළමුවෙන්ම රජයේ රෝහල් , රාජ්‍ය විශ්වවිද්‍යාල හා රජයේ පාසල් ආශ්‍රිතව සූර්ය පැනල සවි කිරීමට අදහස් කර තිබෙනවා. එම රාජ්‍ය ආයතන සතුව පුළුල් වපසරියක් සහිත, හිරු එළිය හොඳින් ලැබෙන වහල තිබීම එම ආයතන තෝරා ගැනීමේ දී අප විමසිලිමත් වුණු ප්‍රධාන කරුණයි. ”

    මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කර ගැනීමේ දී පෞද්ගලික ව්‍යසායකයින් සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය. ” රජයක් විදිහට සෑම ව්‍යාපෘතියක්ම රජය මඟින් ක්‍රියාත්මක කිරීම එක් අතකින් යහපත් වුවත් , අනෙක් අතින් යම් යම් ගැටළු මතුවීමට හැකියාවක් ද පවතිනවා . ටෙන්ඩර් පටිපාටියකට ගමන් කිරීමේ දී බොහෝ අවස්ථාවල යම් යම් කරුණු හේතුවෙන් නිර්භයව හොඳම දේ ලබා ගැනීමට රාජ්‍ය නිලධරීන් බියක් දක්වනවා. වැඩි පිරිවැයක් සහිත උසස් ප්‍රමිතියකින් යුත් භාණ්ඩ මිල දී ගැනිමේ දී යම් යම් අක්‍රමිකතා සිදුවන බවට ඇතැම් පාර්ශ්ව විසින් වැරදි පුරෝකථනයන් සිදු කිරීම හේතුවෙන් එකී සාවද්‍ය චෝදනාවලින් අත් මිදීමට රාජ්‍ය නිලධාරීන් ලබා ගත හැකි අවම මිලට භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරන අයුරු මා දැක තිබෙනවා.

    නමුත් පෞද්ගලික ව්‍යසායකයන් මේ කටයුත්තට සම්බන්ධ කර ගැනීමේ දී ඔවුන්ට ලාභයක් ලැබීමට නම් ඉහළ ප්‍රමිතියකින් යුත් භාණ්ඩ භාවිත කිරිමට ඔවුන්ට සිදුවෙනවා. ඒ වගේම එකී භාණ්ඩ නඩත්තු කිරීමේ වගකීම ද පෞද්ගලික අංශයට පැවරෙන නිසා ඔවුන්ට ආදායමක් ලබා ගැනීමට නම් නිසි ප්‍රමිතියකින් යුතුව මෙකී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමේ වගකීම ඔවුන්ට පැවරෙනවා.”

    මේ වන විට බොහෝ පිරිසක් පුනර්ජනනීය බලශක්ති භාවිතයට යොමු වී ඇති බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පෙන්වා දුන්නේය. ” මේ වන විට ගොඩක් අය සූර්ය පැනල සවි කිරීම සඳහා තමන්ගේ වහලය කුලී පදනම (Rent) මත ලබා දීල තියෙනවා . ඒ අනුව විදුලි බිල අඩු කර ගන්නා අතරම , අමතර ආදායමක් ලබා ගැනීමට ද හැකියාව ඔවුන්ට හිමිව තිබෙනවා. රජයේ රෝහල්වල සූර්ය පැනල සවි කිරීම පිළිබඳ ව්‍යාපෘතියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය මඟින් කමිටුවක් පත් කරල මෙහි ආදායම් ආකෘතිය ( Revenue Model ) අධීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ ව්‍යවසායකයන් සමඟ සාකච්ඡා කරල අපිට කියන්න . ඉන් අනතුරුව අපේ අමාත්‍යාංශය මඟින් සිදු විය යුතු කටයුතු සිදු කිරීමට අපි සූදානම් . “

    ඉන් අනතුරුව ව්‍යාපෘති නියමිත කාලය වන විට නිම කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද රාජ්‍ය අමාත්‍යවරයාටගේ අවධානය යොමු විය. “ ඇත්ත වශයෙන්ම අදාළ ව්‍යාපෘතියට කිසිසේත්ම අදාළ නොවන ආයතන සම්බන්ධ වීම හේතුවෙන් වටිනා ව්‍යාපෘති රාශියක් අතරමඟ නැවතී තිබෙනවා. ඒ් අනුව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී අදාළ ව්‍යාපෘතියට කිසිසේත්ම අදාළ නොවන ආයතන ඊට මැදිහත් නොවිය යුතු බව පෙන්වා දෙමින් උපදෙස් මාලාවක් ( Guide line) නිකුත් කිරීමට කටයුතු කළ යුතුව පවතිනවා.” යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවට සහභාගී වූ සෞඛය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සිය අදහස් දක්වමින් -

    ” මෙම සංකල්පය ඉතාමත් හොඳ සංකල්පයක්. පුනර්ජනනීය බල ශක්තිය කරා ගමන් කිරීමේ දී මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අතිශ්‍ය වැදගත් වෙනවා. රාජ්‍ය ආයතනයන්හි වහලවල්වල සූර්ය පැනල සවි කිරීම මඟින් පුනර්ජනනීය බල ශක්තිය උත්පාදනය කරන අතරම රටට වඩාත් වාසිදායක ලෙස කටයුතු කිරීමට ද හැකිවෙනවා. යැයි පැවසීය.

    මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.එච් මුණසිංහ මහතා ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya