මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙල්ටා ඇතුළු වෛරස සියල්ලට එරෙහි හොඳ ආරක්ෂාවක් එන්නත් සියල්ලෙන්ම ලැබෙනවා - අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

    ජූලි 27, 2021

     ඩෙල්ටා ඇතුළු වෛරස සියල්ලට එරෙහි හොඳ ආරක්ෂාවක් සයිනොෆාම් ඇතුළුව දැනට මෙරට භාවිතා වන එන්නත් වර්ග සියල්ලෙන්ම සැළසෙන බවට දැනටමත් විද්‍යාත්මකව තහවුරු වී ඇතැයිද, එනිසා සෑම දෙනාම එකතුවී එන්නත්කරණ වැඩසටහන සාර්ථක කරගැනීමට කටයුතු කරගත යුතු යැයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේය.

    ඔහු මේ බව පැවසුවේ, අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    ඊයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ, දැනට හමුවන රෝගීන්ගෙන් 30%ක් පමණ ඩෙල්ටා ආශ්‍රිතයින් වීමට හැකියාවක් පවතින බවට උපකල්පණයක් පමණක් බවද, එය එසේය යනුවෙන් නිශ්චිතවම කොයිම අවස්ථාවක හෝ තහවුරු කර නැතැයිද ඔහු පැවසුවේය.

    එම ප්‍රකාශයෙන් පෙන්නුම් කරනුයේ එවැනි භයානක තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් ඇති බැවින් සෑම කෙනෙකුම ප්‍රවේශම් වීමේ වැදගත්කම බවද ඔහු සදහන් කළේය. මෙම කාරණය සම්බන්ධයෙන් සැලකීමේදී ප්‍රධාන වශයෙන්ම සිදුවන මරණ වලින් 90%ක්ම සිදුවන්නේ එන්නත ලබානොගත් අය අතර බව ඉතතාම පැහැදිළි කරුණක් බවද ඔහු අවධාරණය කළේය. එන්නත ලබාගත් අයට රෝගය වැළදීමේ අවධානමක් පැවතුණද, ඔවුන් සංකූලතාවයන්ට පත්වීමේ හැකියාව සහ මරණයට පත්වීමේ හැකියාව ඉතාම අඩු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

    දැනට ලංකාවේ සැබෑ තත්ත්වය එය බවද, මෙයට විසදුම එන්නත්කරණය බවද, ඒමනිසා දැඩිලෙස වෙහෙස මහන්සිවී ජනාධිපතිතුමන්, සෞඛ්‍ය අංශයේ සහ ආරක්ෂක හමුදා අංශ වල සියලුදෙනා එකතුවී එන්නත්කරණ විශාල වැඩසටහනක් සිදුකරගෙන යන බව සිහිපත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ, දැනටමත් ශ්‍රී ලංකාවට එන්නත් මිලියන 12කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති අතර ඒ අතරින් මිලියන 10ක් දැනටමත් එන්නත්කරණය සිදුකර ඇති බවයි.

    පළමු මාත්‍රාව හෝ ලබාගත් පිරිස මිලියන 08කට ආසන්න බවද, දෙවන මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 02කට ආසන්න බවද ඉදිරි මාස 02ක කාලය තුළ දෙවනි මාත්‍රාවත් ලබාදීමෙන් පසු ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් වයස 30ට වැඩි පිරිසෙන් 90%ක් එන්නත්කරණය කර අවසන් කිරීමෙන් පසුව රෝගයේ තීව්‍රතාවය, මරණ සහ රෝගීන් තීරණාත්මක ලෙස අඩුවී අප රට රෝග පාලන තත්ත්වයකට පත්වෙනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු සදහන් කළේය.

    එහි ප්‍රතිඵල ඉදිරියේදී දක්නට ලැබෙනු ඇතැයිද, ඊයේ ගම්පහ, කොළඹ, මන්නාරම සහ මාතලේ දිස්ත්‍රික්ක වල ඉලක්කගත ජනගහණයෙන් 90%ක් ඒනම් වයස 30ට වැඩි පිරිසෙන් 90%ක් දැනටමත් පළමු මාත්‍රාව එන්නත්කරණය කර ඇතැයිද, දෙවන මාත්‍රාව ලබාදීමටද රජය සතුව එන්නත් පවතින බවද ඔහු පැවසුවේය.

    රෝගය පැතිරීයාමේ ප්‍රධාන අවධානම බස්නාහිර පළාතේ පැවති බවද, එම අවධානම හැකිතාක් අඩුකර ගැනීමට රජය ඉතාම මහන්සිවී කටයුතු කරන බවද එහි ප්‍රතිඵල රටේ අයට දක්නට ලැබෙනු ඇතැයිද අමාත්‍යවරයා සදහන් කළේය.
    කොවිඩ් මරණ 90%කට වඩා සිදුවී ඇත්තේ අවය අවුරුදු 60ට වැඩි කණ්ඩායමේ බව සිහිපත් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, දැනටමත් එන්නත ලබානොගත් කෙනෙකු සිටී නම් කරුණාකර ඔබේ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා හෝ සෞඛ්‍ය ‌‌වෛද්‍ය නිලධාරීතුමා දැනුවත් කර එන්නත ලබාගන්නා ලෙස මෙන්ම වයස්ගත ජනතාව සහ විවිධ රෝග වලින් පෙළෙන්නන් වෙනුවෙන් දැනටමත් නිවෙස් වලට ගොස් ඒන්නත් ලබාදීමේ ක්‍රියාදාමයක් රජය අරඹා ඇති බවයි. මෙම රෝගය සදහා දැනට ඇති ආරක්ෂාව මෙම එන්නත ලබාගැනීම පමණක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya