අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන විනාශය පිළිබදව සහ වනජීවී කලාප ආරක්ෂා කරගැනීමට විශේෂ වැඩසටහනක්

    මාර්තු 24, 2021

     වන විනාශය පිළිබදව සහ වනජීවී කලාප ආරක්ෂා කරගැනීමට විශේෂ වැඩසටහනක් සංවිධානය කර පවත්වාගෙන යනවා - වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න
    විදානපතිරණ.

    රාජ්‍ය අමාත්‍යංශය දෙපාර්තමේන්තු සහ අනෙකුත් සියලුම ආයතන සමග ඒකාබද්ධව විශේෂ වැඩසටහන් රාශියක් සංවිදානය කර ඇති බවත් විශේෂයෙන් දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු වලට
    සමගාමීව වනජීවී නිලධාරීන්, වන සංරක්ෂණ නිලධාරීන්, දිසාපතිවරුන් ආදී සියලු නිලධාරීන් සම්බන්ධීකරණය කර ගනිමින් වන විනාශය පිළිබදව සහ වනජීවී කලාප ආරක්ෂා කරගැනීමට
    විශේෂ වැඩසටහනක් සංවිධානය කර පවත්වාගෙන යන බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේය.

    ඔහු මේ බව පැවසුවේ අද දින (24) වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේදී දැනට සමාජගතවී ඇති වන විනාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    ශ්‍රී ලංකාවේ වන සංරක්ෂණය, වන ජීවීන්ගේ සංරක්ෂණය සහ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ගතහැකි ක්‍රියාමාර්ග පිළිබදව තවදුරටත් විදේශීය තානාපතිවරුන් සමග සාකච්ඡා කර දිගුකාලීන
    වැඩසටහන් සකස් කරන බවත්, දැනට පවතින කෙටිකාලීන සහ මධ්‍යකාලීන වශයෙන් විශේෂ වැඩසටහන් සංවිධානය කරන බවද පැවසුවේය.

    එමෙන්ම අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා විශේෂ අවදානය යොමු කරමින් ඒ ඒ ප්‍රදේශ වලට අවශ්‍ය අලි වැට සහ ස්වභාවික පරිසර හිතකාමී ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කරන බවද අලි
    මිනිස් ගැටුම අවම කිරීම සදහා තාක්ෂණික උපකරණ ලබාදීමටත් ඒ සදහා නවෝත්පාදනයට හැකියාව ඇති ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පීන්ගේ නිෂ්පාදන මෙවලම් ලබාගැනීමට
    අපේක්ෂා කරන බවත් පැවසුවේය.

    දැනට පවතින 29%ක් වන සීමිත වන සීමාව 32% දක්වා වැඩිකිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යංශ ලේකම්තුමන් පැවසුවේය. අධ්‍යාපන අමාත්‍යංශය සමග සාකච්ඡා කර සෑම දරුවෙකුගේම පාසලට ඇතුලත් වුණු දිනය, උපන්දිනය ආදී විශේෂ දින සදහා ගසක් සිටුවීමට ළමයින් දිරිගැන්වීමටත් විශේෂ දින වෙනුවෙන් පැල සිටුවන විවිධ වැඩසටහන් ප්‍රජා හා තරුණ දායකත්වය ලබාගනිමින් සිදුකිරීමටත් කොළඹ නගරය නවීන නගරයක් බවට පත් කිරීම සදහා පැල ලක්ෂයක් සිටුවීමේ විශේෂ ව්‍යාපෘතියද දියත් කර ඇති බව ඔහු සිහිපත් කළේය.

    මෙම ව්‍යාපෘතිය කොළඹට පමණක් නොව දිවයිනේ සෙසු දිස්ත්‍රික්කද කේන්ද්‍ර කරගනිමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන්ද දායක කරගනිමින් පැලසිටුවීම මගින් වන ඝණත්වය වැඩි කිරීමට විශේෂ වැඩසටහන් කිහිපයක් ඇරඹීමට අපේක්ෂිත බවද පැවසුවේය.

    මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ අලි 83ක් මියගොස් ඇති බවද එය අන් වසර වලට සාපේක්ෂව සමාන අගයක් වන අතර විදුලි සැර වැදීම්, හක්ක පටස්, ස්වභාවික හේතු, ළිං වලට වැටීම, දුම්රියේ ගැටීම ආදී හේතු අලි මියයාමට හේතුවන බවද ලේකම්තුමා පැවසුවේය.

    පරිසරය ආරක්ෂා කර ගැනීම සදහා අවශ්‍ය සියලු වැඩසටහන් අරඹා ඇති බවද ඒ ඔස්සේ තුළනාත්මක සංවර්ධන ව්‍යාපෘතියකට යා යුතු බවද අමාත්‍යංශ ලේකම්වරයා අවධාරණය කළේය.

    මෙම මාධ්‍ය සාකච්ඡාවේදී වනජීවී රාජ්‍ය ලේකම් පාලිත ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් කියා සිටියේ අලි මිනිස් ගැටුම වැළැක්වීමට, වන වගාවට සහ වන ගහණය වැඩි කිරීමට අමාත්‍යංශයේ
    අවධානය යොමුවී ඇති බවයි.

    2021 වසරේදී අක්කර 75,000ක නැවත වගාවක් කිරීමටද, හෙක්ටයාර 16,000ක ව්‍යාප්ත වී ඇති ෆයිනස් වගාව කපා ඉවත් කර එම ඉඩම් වල ගස් ඉන්දවීමට කටයුතු කරන බවද, ඒ සදහා අවැසි මූල්‍ය ප්‍රතිපාදන, කාර්යය මණ්ඩලය සහ ත්‍රිවිධ හමුදාවේ සහාය නොඅඩුව ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

    වනජීවී දෙපාර්තමේන්තුව විසින් අලි මිනිස් ගැටුම සදහා කිලෝමීටර් 1500ක අලි වැටක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවද ඒ සදහා අවශ්‍ය සිතියම් සකස් කර ඇති අතර, මෙවර අලි වැටෙහි උස සහ විදුලි බලය වැඩිකර කම්බි 04ක් යොදා එම කම්බි ජී අයි බට වල බහා සකසන බවද පැවසුවේය.

    අවශ්‍ය උපකරණ සියල්ල මිලදී ගනිමින් ව්‍යාපෘතිය මැයි මස මැද ඇරඹීමටත් මෙම අලි වැට සැකසීම සදහා අප රටෙහි නිෂ්පාදන භාවිතා කරමින් නව නිපැයුම්කරුවන් සහ මැටි
    කර්මාන්තකරුවන් උනන්දු කරමින් ඔවුන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීමට අපේක්ෂා කරන බවද පැවසුවේය.

    අලි වැට අවශ්‍ය දිස්ත්‍රික්ක වල ගම වටා අලි වැට ඉදිකිරීමටත්, එය ප්‍රමාණවත් නොවුණහොත් ප්‍රදේශයේ පවතින ගොවි සමිති හරහා භාණ්ඩ ලබාදී ගොවීන්ගේ කුඹුරු ආරක්ෂා කරගැනීමට
    කුඹුරු වටා අලි වැට ඉදිකිරීමටත්, අවශ්‍ය වුවහොත් අලි අගල් කැපීමටත්, දැනට ඇති අලි වැට වලට ඉදිරියෙන් එල්ලෙන අලි වැට දැමීමට ක්‍රියා කරන බවද පැවසුවේය.

    මෙම මාධ්‍ය හමුව සදහා වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී. සූරිය බණ්ඩාර මහතා ඇතුළු නිලධාරී පිරිසක් සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya