මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩාංගනයක් දියුණු කළාම රෝහලක් හදන්න තියෙන අවශ්‍යතාව අඩුවෙනවා - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

    මාර්තු 04, 2021

     



    ක්‍රීඩාංගනයක් දියුණු කළාම රෝහලක් හදන්න තියෙන අවශ්‍යතාව අඩුවෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී පැවසීය.

    ජවසම්පන්න පරපුරක් උදෙසා “ගමට පිටියක්” ජාතික වැඩසටහන යටතේ රටපුරා ග්‍රාමීය ක්‍රීඩා පිටි 332ක් එකවර සංවර්ධනය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන්
    කළේය.

    ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් රටේ නව ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමේ පරමාර්ථය ඇතිව මෙම ජාතික
    වැඩසටහන ක්‍රියාත්මක වේ.

    ගමට පිටියක් ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

    ක්‍රීඩාව වෙනුවෙන් අපි අද මේ මොහොතේ රට පුරා ඇති ක්‍රීඩා පිටි 332ක සංවර්ධනය කිරීම ආරම්භ කරනවා. එකවර වැඩ ආරම්භ කරන නිසා මේ ක්‍රීඩාපිටි හැම එකකටම අපට යන්න පුළුවන්
    කමක් නැහැ. ඒ නිසා මේ ක්‍රීඩා පිටි අතරින් තෝරාගත්ත එක ක්‍රීඩා පිටියකට ඇවිත් වැඩ ආරම්භ කිරීමේ උත්සවය පවත්වන්නත් අපි තීන්දු කරනවා. මොකද හැම ක්‍රීඩාපිටියක්ම අපට වටින නිසා.

    මිත්‍රවරුනි,
    තමුන්නාන්සේලා දන්නවා තරුණ පරපුරටත් ළමා පරපුරටත් අද එල්ල කරන චෝදනා බොහොමයක් තියෙනවා. දෙමව්පියෝ කියනවා තරුණ පරපුරට ඉවසීමක් නෑ, කලබලකාරී බවෙන්
    යුක්තයි කියලා. ඒ වගේම දෙමව්පියෝ කියනවා තරුණයෝ පටු ආත්මාර්ථකාමී, සාමූහික හැඟීමකින් තොරව ජීවත්වෙන පිරිසක් කියලා.

    ඒ වගේම ෆෝන් එකටම ලැප්ටොප් එකටම තරුණයෝ ඇබ්බැහි වෙලා ඒගොල්ලෝ සංවේදී නැහැ කියලා තවත් පිරිසක් කියනවා. මෙහෙම චෝදනා කරනවා මිසක් ඒකට හේතු හොයලා
    බලන්න අපි පුරුදුවෙලා නැහැ.

    මිත්‍රවරුනි,
    එදා මේ රටේ හැමතැනම එකම ක්‍රීඩා පිට්ටනියක් වගේ තිබුණේ. වතුපිටි විශාලයි. ගම්වල ඕනෑම වත්තක ඕනෑම ක්‍රීඩාවක් කරන්න පුළුවන් තරම් ඉඩකඩක් තිබුණා. නමුත් දැන් අපි පාරේ
    යනකොට පේනවා බොහෝ නගරවල වගේම ගම්බදවත් ඉඩකඩම් ඉතාම කුඩාවේගෙන යනවා. ඒ වගේම අද වාහන පාකින් එකක් හදන්න තියෙන උනන්දුව දරුවන්ට ක්‍රීඩාපිටියක් හදන්න
    ඇත්තේ නැති බව ඔබ පිළිගන්නවා ඇති.

    මේ රටේ දරුවන්ට ක්‍රීඩා කරන්න ඉඩක් තියෙනවද කියන කාරණය ඒ නිසා අලුතෙන්ම අපි හිතා බලන්න ඕනේ. මේ තත්ත්වයෙන් රට මුදාගන්න, අපේ ජාතිය බේරාගන්න තබන හොඳම
    පියවරක් තමයි අද මේ අපි තබන්නේ කියලයි මම විශ්වාස කරන්නෙ.

    මිත්‍රවරුනි,
    පාසලක් විවෘත කළාම බන්ධනාගාරයක් වැහෙනවා කියලා ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. අපි ඒ බව තේරුම් අරගෙන අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැඩකොටසක් කරගෙන යනවා. ඒ වගේම
    තමයි පිට්ටනියක්, ක්‍රීඩාංගනයක් දියුණු කළාම රෝහලක් හදන්න තියෙන අවශ්‍යතාව අඩුවෙන බව මට හිතනෙවා. අද අපේ රටේ පුරවැසියන්ගේ ආයු කාලය වයස අසූව ඉක්මවලා තියෙනවා.
    නමුත් දීර්ඝායුෂ වින්දත් රෝගියෙක් හැටියට නම් ජීවත්වෙන්න සිදුවන්නේ ඒකෙන් ඇති වැඩක් තියෙනවා ද? වැඩක් නැහැ. අද ලෝකෙම හොඳ ජීවිතයක්, නිරෝගීමත් ජීවිතයක් ගතකිරීම ගැන හිතන කාලයක්. ඒකට තමයි එක පැත්තකින් ක්‍රීඩාව තියෙන්න ඕනෑ කියලා මම විශ්වාස කරන්නෙ.


    මිත්‍රවරුනි,
    අද අපේ සමහර දෙමව්පියෝ හිතනවා, ක්‍රීඩාව කියන්නේ කාලය නාස්ති කිරීමක් කියලා. නමුත් ක්‍රීඩාවට අද තියෙන්නේ ඉතාම හොඳ ඉල්ලුමක්. අද ක්‍රීඩාව කියන්නේ එක පැත්තකින්
    වෙළෙඳපොළක් තියෙන වෘත්තීය භාවයක් තියෙන විෂයක් බවට පත්වෙලා ඉවරයි.

    අද අපේ රටේ ක්‍රීඩා පාසැල් ගණන 30ක් දක්වා වැඩි කරන්න අපි කටයුතු කරලා තියෙනවා. අනාගතයේ මේ තත්ත්වය තව තවත් ඉහළ යවන්න ඕනි. අපි රටක් හැටියට හොඳ ක්‍රීඩකයො
    බිහිකරන්න ඕන.

    අද රටේ තියෙන්නේ ක්‍රීඩා නැරඹීමක් මිසක් ක්‍රීඩාවේ යෙදීමක් නෙමෙයි. නරඹන්නත් ඕන තරම් ඉන්නවා. හැබැයි ඒ අය ක්‍රීඩාවේ යෙදෙනවා නම් තමයි හොඳ. එහෙම පරපුරකට තමයි
    අනාගතයේ සාර්ථක නීරෝගීමත් ජීවිතයක් ගතකරන්න පුළුවන්කම තියෙන්නේ. ජය පරාජය භුක්ති විඳින්න පුළුවන්කම තියෙන්නෙ.

    මිත්‍රවරුනි,
    මීට සතියකට පමණ කලින් තමුන්නාන්සේලාට මතක ඇති අපේ ලංකාවට ආවා පකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා. එතුමා කිව්වා, එතුමා දේශපාලනයට ඇවිල්ලා තනියම
    පක්ෂයක් හදාගෙන වැඩ කරලා වසර ගණනාවක් පරාජය වෙමින් ඒ සියල්ලම දරාගෙන හිටියා කියලා.

    ඒ කාලේ එතුමාට බොහෝ දෙනෙක් හිනා වුණාලු. නමුත් එතුමා ඉවසීමෙන් කටයුතු කරලා අවසානයේ පකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරය ලබාගත්තා. ඉම්රාන් ඛාන් මැතිතුමා මට කිව්වා, එතුමාට පිට්ටනියෙදි ලැබිච්ච අත්දැකීම තමයි ඒ වගේ ගමනක් එන්න බලපෑවේ කියලා.

    අපිටත් එහෙමයි. අපි ජීවිතයේ පරාජයට මුහුණපාපු අවස්ථා ගණනාවක් තියෙනවා. 2015 ජනවාරි 08 වැනිදා අපි පරාජය වෙලා ගෙදර ගියා. අපේ පක්ෂය අපිට අහිමි වුණා. මේ රටේ ප්‍රධාන
    පක්ෂ දෙකෙන් පිට පක්ෂයක් අපි ගොඩනැඟුවා.

    ගොඩනඟලා අවුරුදු 4ක් ඇතුළත සියලු අභියෝගවලට මුහුණදීලා අපි නැවතත් රටේ ආණ්ඩු බලය දිනාගත්තා. එහෙම කරන්න පුළුවන් වුණේ මම විශ්වාස කරනවා බාල කාලයේ ක්‍රීඩාවේ
    යෙදිලා ඉවසීම වගේම පරාජයත් පුරුදු වෙච්ච නිසා.

    යුද්ධයේදිත් අපි යුද්ධයක් ජයග්‍රහණය කරනකොට අපිට අවශ්‍ය ඉවසීම, සටන්කාමීත්වය ලැබුණේ ක්‍රීඩාවෙන් බව මම කියන්න ඕනෑ.

    ඒ නිසා අද අපි සියලුම ආකාරයේ පිට්ටනි දිහා අලුත් ඇහැකින් බලන බව තමුන්නාන්සේලාට පේනවා ඇති. අද ඉඳන් අපි මේ රටේ තියෙන පාසැල් පිට්ටනි වැඩිදියුණු කරනවා. ඒ වගේම
    මහජන ක්‍රීඩාපිටි වැඩිදියුණු කරනවා. ඒ විතරක් නෙමෙයි ගම්වල අලුතෙන් කුඩා ක්‍රීඩාංගන ඉදිකරන්න අවශ්‍ය සියලුම පහසුකම් ලබාදෙන්න කටයුතු කරනවා.

    මෙහෙම කරන්නේ හොඳ ශරීර සෞඛ්‍යයක් හිමි, නිරෝගී පරමායුෂ ඇති පිරිසක් මේ රටට බිහි කරන්න ඕනි හින්ඳා. ඉවසීමෙන් සංයමයෙන් යුතු ආත්මාර්ථකාමීත්වයෙන් තොර සාමූහික
    හැඟීමෙන් යුතු පරපුරක් මේ රටේ බිහි කරන්න ඕනි. ඒ සඳහා තමයි අපි මේ කටයුත්ත ඉටුකරන්නෙ. පරිගණකයට, ටෙලිෆෝනයට ඇබ්බැහි වුණ යාන්ත්‍රික බවෙන් අපේ ජාතිය මුදාගන්න ඕන.


    මම අපේ රටේ දෙමව්පියන්ට කියන්න ඕනේ අද මේ රටේ ක්‍රීඩා ඇමැති හොඳ ක්‍රීඩයෙක්. මම ඇමැති වුණත් විපක්ෂ නායක වුණත් අගමැති වුණත් ජනාධිපති වුණත් නාමල් සෙල්ලම්
    කරනකොට පිට්ටනියට බලන්න ගියා. මම හිතන්නෙ පොඩි කාලෙ ඉඳන් හැම මැච් එකටම මම ගියා. වයස 6-9 වෙනකොට පටන් ගත්තෙ. ඒ හැමදාම මම ගිහිල්ලා තියෙනවා.

    මොකද පිට්ටනියෙදි ලැබෙන අත්දැකීම ජීවිතය සාර්ථක කරගන්න ඉතාම වැදගත් වෙන නිසා. මට පේනවා දැන් නම් නාමල් රගර් පිට්ටනියේ දුවනවාට වඩා වැඩි වේගයෙන් ක්‍රීඩා ඇමැතිකම
    අරගෙන දුවන බව. ඇමැතිතුමාට ඒ ජවය ලැබිලා තියෙන්නේ, වැඩ කිරීමට වුවමනා ශක්තිය ලැබිලා තියෙන්නේ එයත් පාසල් කාලයේ ක්‍රීඩකයෙක් විදිහට ක්‍රීඩාවේ යෙදුන නිසයි කියලයි මම
    විශ්වාස කරන්නෙ.

    මේ රටේ සියලු දෙනා ඒ විදියට ක්‍රීඩාව දිහා බැලිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මේ පිළිබඳව ඔබේ අවධානය රටේත් ජාතියේත් අවධානය යොමු කරවන්න ඕන.
    ඔබ සැමට නීරෝගීමත් සුබ අනාගතයක්! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා



    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේත් නායකත්වය යටතේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම වැඩපිළිවෙලත් යාතාර්ථයක් කරමින්
    ක්‍රීඩා හා තරුණ කටයුතු අමාතයංශයත් , ක්‍රීඩා හා තරුණ කටයුතු රාජ්‍ය අමාතයංශයත් එක්ව රටේ ග්‍රාමීය ක්‍රීඩාව නංවාලීමේ දැවැන්ත වැඩපිළිවෙලක් අපි ක්‍රීයාත්මක කරනවා.

    එහි ආරම්භයක් විදියට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයත්, ක්‍රීඩා හා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයත් එක්ව තේනුක විදානගමගේ මැතිතුමාගේ සහභාගිත්වයෙන් ලංකාවේ ග්‍රාමීය ක්‍රීඩා පිට්ටනි සංවර්ධනය කීරීමේ ජාතික වැඩපිලිවෙල අද අපි ආරම්භ කරනවා.

    මම හිතන්නෙ ලංකා දේශපාලනයේ හා ලංකා ක්‍රීඩා ඉතිහාසේ පළවෙනි වතාවට ග්‍රාමීය ක්‍රීඩා පිට්ටනි සංවර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙලක් විතරක් නෙමෙයි රටේ රාජ්‍ය නායකායාත්
    අග්‍රාමාත්‍යතුමාගේත් ප්‍රධානත්වයත් ඔවුන්ගේ අවධානයත් යොමු වෙලා, එක පැත්තකින් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යනවා වගේම අනිත් පැත්තෙන් නව ක්‍රීඩා සංස්කෘතියක් අපි
    නිර්මාණය කරනවා.

    ක්‍රීඩා සංස්කෘතිය තුළින් විනය ගරුක සමාජයක් සෞඛ්‍ය සම්පන්න සමාජයක් වගේම රටේ නව ක්‍රීඩා ආර්ථිකයක් බිහි කිරීමට අවශ්‍ය පරිසරය අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.

    ඒ අනුව මූලික අඩිතාලම තමයි ග්‍රාමීය ක්‍රීඩා, ග්‍රාමීය පාසල් ක්‍රීඩා, සංවර්ධය කරන්න. එ් සඳහා අතිගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් විශේෂ රාජ්‍ය අමාත්‍යාංශයක් නිර්මාණය කරලා තියනවා. ඒ අනුව තේනුක විදානගමගේ මැතිතුමාගේ නායකත්වය යටතේ එතුමාගේ අමාත්‍යාංශයත් රටේ සෑම ප්‍රාදේශීය සභාවක් සෑම නගර සභාවක්ම, ක්‍රීඩා සමාජ යෞවන සමාජ ඒකරාශී කරලා ග්‍රාමීය ක්‍රීඩාව නංවාලීම සඳහා අපි ආරම්භ කරන වැඩපිළිවෙල ඉදිරි කාල සීමාව තුළ නව ක්‍රීඩා සංස්කෘතියක් බිහි කරනවා.

    ඒ වගේම ග්‍රාමීය ක්‍රීඩා හා ග්‍රාමීය පාසල් ක්‍රීඩා සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අපි ආරාධනා කරනවා රටේ සියලුම තරුණ තරුණියන්ට, වැඩිහිටියන්ට, දෙමාපියන්ට අද මේ රටේ ක්‍රීඩා සංස්කෘතියක් බිහිවෙමින් යන කාල සීමාවක් තුළ ක්‍රීඩාශීලී හා ක්‍රියාශීලී සමාජයක් බිහිකිරීමට අප සමඟින් එක් වෙලා මේ ගමන යන්න අත්වැල් බැඳගන්න කියලා යැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමා පැවසීය.

    මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අනුරාධ
    විජේකෝන්, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මධුර විතානගේ මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya