මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ මෙම වසරේ ග්‍රාමීය වැව් 1000ක් ප්‍රතිසංස්කරණය කරනවා

    පෙබරවාරි 01, 2021

    පෙබරවාරි 05 උතුරුමැද මහ ඇල සංවර්ධනය අරඹනවා.. - වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ.

    වාරි සෞභාග්‍යයා වැඩසටහන යටතේ මෙම වසරේ ග්‍රාමීය වැව් 1000ක් ප්‍රතිසංස්කරණය සිදුකරන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසුවේය.


    ඔහු මේ බව පැවසුවේ අද දින (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. ජාතික වැඩසටහනක් වශයෙන් මෙම වසරේ සිට ක්‍රියාත්මක කරන වාරි සෞභාග්‍යා වැඩසටහන ජනපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමේ පළමු කාර්යය වන අතරම දිළිදුකම තුරන් කිරීමේ කර්තව්‍යයේදී කෘෂි කර්මාන්තය ප්‍රධාන තැනක් ගන්නා බවත්, එහිදී වාරි ක්ෂේත්‍රය ඉතාම වැදගත් බවත් අමාත්‍යවරයා පැවසුවේය.

    ජලය නොමැතිව කෘෂි කර්මාන්තය කළ නොහැකි බවත්, පසුගිය සෑම රජයක් තුළින්ම මහා වාරිමාර්ග ක්‍රියාත්මක කර ඇතත්, ජනතාවගේ දිළිදුකම තුරන්වී නොමැති බවද අමාත්‍යවරයා පැවසුවේය.

    එම නිසා මේ වෙලාවේ මහා වාරිමාර්ග මෙන්ම ග්‍රාමීය වැව් ප්‍රමුඛතාවයක් ලබාදී සංවර්ධනය කිරීමට මෙන්ම වාරි කර්මාන්තය නගාසිටුවීම සදහා රුපියල් බිලියන 45ක් මෙවර අයවැයෙන් ලබාදී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    ග්‍රාමසේවා වසම් වල සියලුම ගම් වල වැව් ප්‍රතිසංස්කරණය කිරීම සදහා ප්‍රමුඛතාවයක්දී කටයුතු කරන අතරම අදාල වැව් ගම සමග පිළිසදර වැඩසටහන යටතේ ජනතා අදහස් සහ ප්‍රදේශනය නියෝජනය කරන දේශපාලන අධිකාරියේ අදහස් සැලකිල්ලට ගනිමින් වැව් තෝරා ගැනීමට නියමිතව ඇත.

    මේ අවුරුද්දේ සහ ලබන අවුරුද්දේ කුඩා වැව් 5000ක් පිළිසකර කිරීම මෙහිදී සිදුකරන අතර, මෙම වසර තුළ ග්‍රාමීය වැව් 1000ක් ප්‍රතිසංස්කරණය කිරීමටඅපේක්ෂිතයි. මේ සදහා අවශ්‍ය ක්‍රියාත්මක සැලැස්මක්ද සකස් කර ඇත.

    මෙතෙක් කලක් මෙම වැව් සංවර්ධන වැඩසටහන කොන්ත්‍රාත් පදනම යටතේ ක්‍රියාත්මක වී ඇති අතර එය ඉතා අසාර්ථක යැයිද සමහර ඒවා අඩක් ක්‍රියාත්මකව ඇතැයිද ඒවායෙහි ප්‍රතිලාභයක් හරිආකාරව ලැබී නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    මෙවර සෘජුව වාරිමාර්ග අමාත්‍යංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව, යුධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, නාවික හමුදාව, ගුවන් හමුදාව, ඒ වගේම රජයේ අනෙකුත් යන්ත්‍රෝපකරණ,දෙපාර්තමේන්තු සහභාගී කරගෙන සෘජුව වැව් ප්‍රතිසංස්කරණයට බලාපොරොත්තු වන බවත්, ඒ සදහා අදාල තාක්ෂණික කමුටු, අදාල යන්ත්‍රෝපකරණ සොයාගැනීමේ කමිටු සාදා දැනට එය ක්‍රියාත්මක කරගෙනයන බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.

    සියලුම වැව් මිනින්දොරු දෙපාර්තමේන්තුව හරහා මිනුම් කටයුතු කර රක්ෂිතයන් හදුනාගෙන ඒවා නිරවුල් කරදීමටත්, එම වැව් වලින් ලබාගන්නා රොන් මඩ සමහර ඉඩම් වෙත ගෙනයාමටත්, කිරිමැටි, මැටිකර්මාන්තයේ යෙදෙන අයට ප්‍රයෝජවයට ගැනීමටත්, වැලි ඇත්නම් ඒවා රටෙහි අනෙකුත් සංවර්ධන කටයුතු සදහා යොදා ගැනීමටත් අවශ්‍ය වැඩපිලිවෙල සකස්කර ඇති බවද පැවසුවේය.

    ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්යයසාධක බලකායත්, මෙම කටයුත්තට දායක වනු ඇත. අප රටට නිදහස ලැබිලා වසර 73ක් පිරෙන මේ අවස්ථාවේදී වාරි සෞභාග්‍යා වැඩසටහන දියත් කිරීමට බලාපොරොත්තු වන බවද, ඒ අනූව පෙබරවාරි 05 වනදා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා වාරිමාර්ගය එනම් උතුරුමැද මහඇල සංවර්ධනය කිරීමට එනම් උමග ආරම්භ කිරීම ජනපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට අපේක්ෂිතව ඇත.

    එම උමග  ලංකාවේ තිබෙන දිගම උමග බවට පත්වෙන අතර එහි දිග කිලෝමීටර 28කි. ඇල සම්පූර්ණ වීමෙන් පසු දිග කිලෝමීටර 94ක් වනු ඇත. මෙමගින් මොරගහකන්ද ජලාහයේ සිට මහකනදරාව දක්වා ජලය ගෙනයනු ඇත. මෙය සිවු වසරක කඩිනම් සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මකකිරීමටත්, විශාල වැව් සංඛ්‍යාවකට ජලය ලබාදීම සදහා අනුරාධපුර, වවුනියාව, මාතළේ, පොළොන්නරුව ආදී දිස්ත්‍රික්ක කිහිපයකටම මින් සෙත සැලසෙනු ඇත.
    මෙම ප්‍රදේශයේ ජනතාව විහාල ලෙස ජල හිගයෙන් පසුවන්නන් බවත්, බොහෝවිට වගා කටයුතු කිරීමට හැකිවන්නේ වසරකට එක කන්න්යක් බවත්, වන නිසා එයට ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරන බවද වාරිමාර්ග අමාත්‍යවරයා පැවසුවේය.

    පෙබරමාරි 05 වනදා උතුරුමැද මහඇල සංවර්ධන කටයුතු අරඹන අතරම පෙබරවාරි 16 වනදා වයඹ මහඇල අගමැතිතුමන්ගේ සහභාගීත්වයෙන් සංවර්ධනය කිරීම අරඹන බවද අමාත්‍යවරයා පැවසුවේය.
    ජල හිගතාවයෙන් පීඩාවට පත් ජනතාවක් සිටින කුරුණෑගල, ගල්ගමුව ආදී ප්‍රදේශ වල වැව් 350කට ජලය සැපයීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා අවදාරණය කළේය.

    ලෝක ආහාර සංවිධානය පවසන පදිරි ඉදිරියේදී ලෝකයටම ආහාර අර්බුදයක් ඇතිවනු ඇත. ලංකාවටද ඊට මුහුණදීමට සිදුවන නිසා මෙම වාරිප්‍රතිසංස්කරණ කටයුතු වලට දැන්මම මුලපුරා ඇත.
    සුළු වාරිමාර්ග ක්‍රියාත්මක කිරීමට සමගාමීව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම එක වැවක් බැගින් පෙබරවාරි 05 සිට 16 දක්වා සෑම දිස්ත්‍රික්කයකම ජනතාව දැනුවත් කිරීම සදහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම එක වැවක් ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙනු ඇත.
    මෙම වසරේ ග්‍රාමීය වැව් 1000 ප්‍රතිසංස්කරණය කිරීම සමග ගම්වල ජල අවශ්‍යතාවය, වැව් ආශ්‍රිතව ගස් සිටුවීම, ගම් වල ජල අවශ්‍යතාවය සපුරාලීම, කෘෂිකර්මික කටයුතු වලට අවශ්‍ය ජලය ලබාදීම සිදුවනු ඇත.
    මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා සිරිපාල ගම්ලත් සහ අනුරාධ ජයරත්න යන රාජ්‍ය අමාත්‍යවරු සහ වාරිමාර්ග අමාතයංශයේ ලේකම් අනුර දිසානායක මහතාද සහභාගී විය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya