මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය

    ඔක්තෝබර් 04, 2020

    දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගියකු වාර්තා වීම සහ ඊට සම්බන්ධ තත්වයන් පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය.


    දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගියකු වාර්තා වීම සහ ඊට සම්බන්ධ තත්වයන් පිළිබඳව අද දින (04 ) කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී ගරු සෞඛ්‍ය
    අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මැතිනිය සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර යන මහත්වරුන් විසින් අදහස් දක්වන ලදී.

    එහිදී, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරමහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය පහත පරිදි වේ.


    ඇය අවුරුදු 39 ක් වයසැති කාන්තාවක්. දිවුලපිටිය ප්‍රදේශයේ, පදිංචි. සැප්තැම්බර් 28 වනදා ඇයට රෝගී තත්වයක් ඇති වූ නිසා ප්‍රදේශයේ තිබෙන ඩිස්පැන්සරියකින් බෙහෙත් අරන් තිබෙනවා. ඉන් පසු 30 වනදා ගම්පහ රෝහලට ඇතුළ් වී තිබෙනවා. ඉන් පසු අප සෑම රෝහලකම කරන පරිදි ශ්වසන රෝගී තත්වයන් සමග එන කොවිඩ් 19 හා සමාන රෝග ලක්ෂණ තිබෙන අයගේ නියැදියක් ලබා ගන්න නිසා ඒ හා සමානව මේ රෝගියාගෙනුත් නියැදියක් ලබාගෙන තිබෙනවා. ඒ නියැදියේ PCR පරීක්ෂණයේදී තහවුරු වූවා ඇය කොවිඩ් රෝගියකු කියා. ඒ අනුව, ඇය අංගොඩ ජාතික රෝහලට ඇතුළ් කර තිබෙනවා වැඩිදුර ප්‍රතිකාර සඳහා. 

    මාස 02 කට පසුව තමයි අපට සමාජයෙන් රෝගියකු හමුවන්නේ. මේ අවස්ථාවේදී ඊළඟට අපට කරන්න තිබෙන ප්‍රධානම දේ තමයි ඇයගේ ආශ්‍රිතයින් හඳුනාගැනීම. එතකොට පවුලේ, සේවය කරන ස්ථානයේ ඒ වගේම රෝහලේ ඇයගේ ආශ්‍රිතයින් ඇයට නිරාවරණය වූ අයව මූලිකවම හඳුනාගෙන ඔවුන්ව නිරෝධායනය කිරීමට මූලිකවම කටයුතු කර තිබෙනවා. ඒ වගේම අවශ්‍ය අවස්ථාවලදී ඔවුන්ගේ PCR පරීක්ෂණ කර, ඔවුන් අතර රෝගීන් සිටිනවාද කියන එක අප තහවුරු කරගන්නවා. ඒ වගේම, ඊළඟ පෙළේ ආශ්‍රිතයිනුත් හඳුනාගෙන ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීම, ඒ වගේම ඒ ප්‍රදේශයේ අවශ්‍ය ස්ථානවල PCR පරීක්ෂණ සිදු කිරීමත් ඉදිරි කාලයේදී සිදු වෙනවා ඇති. මෙතැනදී වැදගත්ම දේ තමයි, කොවිඩ් 19 රෝගය කියන්නේ වෛරස් රෝගයක්. අප මේ සටන් කරන්නේ වෛරසයක් සමග. ඕනෑම අවස්ථාවක අපේ පාලනයෙන් ගිළිහිලා සමාජය තුළින් මතුවන්න පුළුවන්. අප දිගින් දිගටම පසුගිය කාලයේ මේ පිළිබඳව අවධාරණය කළා. ඒ තත්වය අද යථාර්ථයක් බවට පත් වී තිබෙනවා. නමුත් ඉතාමත්ම වැදගත් දේ
    තමයි රෝහලේදී ඉතා මූලික අවස්ථාවකදී අපට මේ රෝගියා හඳුනා ගන්න හැකිවීම.

    මේ තත්වය ඉදිරියටත් තිබෙන්න පුළුවන්. මේ සමාජයේ තිබෙන්න පුළුවන්. ඒ නිසා මේ සමාජයට එන සියලුම දෙනා ඉතාමත්ම වැදගත් කාර්යයන් කීපයක් කරන්න තිබෙනවා. ප්‍රධානම දේ තමයි අනවශ්‍ය විදිහට සමාජයට පැමිණීමෙන් වළකින්න අවශ්‍යයි. හැකි තරම් තමන්ගේ නිවෙස්වල රැඳී සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම සමාජයට එන හැම අවස්ථාවකම මීටරයක දුරස්ථභාවය තබාගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. නිසි පරිදි මුඛ ආවරණයක් පැළඳීම, දෑත් සබන් යොදා සේදීම යන සෞඛ්‍ය පුරුදු සමාජය දිගින් දිගටම සිදුකළ යුතු යි. ඒ වගේම ආයතන වලදී, එම ආයතන වලට පැමිණෙන අය, පාසලක හෝ ආයතනයක හෝ වෙනත් ස්ථානයක බාහිර පිරිස් පැමිණෙන තැන්වල නිසිපරිදි සෞඛ්‍යාරක්ෂිත කටයුතු අනුගමනය කළ යුතුයි. එන සියලුම දෙනාගේ උෂ්ණත්වය බැලීම, ඔවුන්ගේ සම්බන්ධතා කවුද, කොහෙන්ද ආවේ යනාදී නැවත වතාවක් ඔවුන්ව හඳුනා ගැනීමට අවශ්‍ය වන දුරකථන අංක, නම ගම යන විස්තර ලබා ගැනීමත් වැදගත් වෙනවා. ඒ වගේම, යම්කිසි ආයතනයක ශ්වසන රෝගී තත්වයක් පැතිරෙනවා නම්, කොවිඩ් 19 හා සමාන උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වගේ රෝග ලක්ෂණ තිබෙන රෝගීන් පිරිසක් වාර්තා වෙනවා නම් වහාම තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිට දැන්වීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේ අවස්ථාවක අපට පුළුවන් පරීක්ෂණ සිදුකර බලන්න යම්කිසි ලෙසකින් මේ කොවිඩ් 19 රෝගයද කියා.
    ජනතාවගේ පාර්ශ්වයෙන් සහ වෙනත් කාර්යාලවල ආයතනවල කාර්යය මණ්ඩල සහයෝගය දුන්නොත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ රජයට මේ කොවිඩ් 19 රෝගය කොතැනින් මතුවුණත් ඉක්මනින්ම පාලනය කර නැවත වතාවක් අපට සාමාන්‍ය ජීවිතය ගත කරන්න, ඒ වගේම කොවිඩ් 19 රෝගය සමාජගත වීම වළක්වා කටයුතු කරන්න හැකි වෙනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya