මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍යවරයාගේ මැයි දින පණිවුඩය

    මැයි 01, 2020

    කොවිඩ් -19 වසංගතය වැඩකරන ජනතාවගේ අනාගතයට බලපාන බව නොසඟවා කිව යුතුය. අද වැනි දිනක ඒ අභියෝග කෙරෙහි වැඩකරන ජනතාව දැනුවත් කිරීම එම අභියෝග ජයගැනීම සඳහා පිටිවහලක් වනු ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැයි දිනය වෙනුවෙන් නිකුත් කළ නිවේදනයෙන් කියා සිටියි.

    2020 වර්ෂයේ මැයි දින පණිවුඩය-

    මෙවර ලෝක කම්කරු දිනය සකල ලෝකවාසී වැඩකරන ජනතාවට සමරන්නට සිදුව තිබෙන්නේ කොවිඩ් -19 වසංගතයට මුහුණ දෙමිනි. එබැවින් අපගේ ජාතික ආගමික උත්සව සේම ජාත්‍යන්තර කම්කරු දිනය ද සුපුරුදු ක්‍රියාකාරකම්වලින් තොරව සමරන්නට සිදුව තිබේ. කම්කරු ජනතාවගේ ශක්තිය, එකමුතුකම ප්‍රදර්ශනය කළ පෙළපාලි හා රැස්වීම්වලින් තොරව වුව ද අපගේ ශක්තිය එකමුතුකම ප්‍රදර්ශනය කරන්නට අපට මගක් තිබේ. එය නම් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කරමින් වසංගතය දුරලීමට සටන්වදින අයට වැඩකරන ජනතාවගේ ධෛර්යය හා සහාය දීම යි.


    කොවිඩ් -19 වසංගතය වැඩකරන ජනතාවගේ අනාගතයට බලපාන බව නොසඟවා කිව යුතුය. අද වැනි දිනක ඒ අභියෝග කෙරෙහි වැඩකරන ජනතාව දැනුවත් කිරීම එම අභියෝග ජයගැනීම සඳහා පිටිවහලක් වනු ඇත. අප විදේශගත ශ්‍රමිකයන් ද ලංකාවේ විදේශ ආයෝජන මත යැපෙන කර්මාන්තවල සේවකයන් ද සංචාරක ව්‍යාපාරය ආදී කර්මාන්තවල නියැලෙන්නන් ද කොවිඩ් වසංගතයේ අභියෝගයට මුහුණ දී තිබේ. එම ක්ෂේත්‍රවල මෙහෙවර කරන ලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාවගේ පැවැත්ම ආරක්ෂා කිරීමේ වගකීම රජය වෙත පැවරේ.

     

    මෙතෙක් ලෝකය පිළිගත් විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ හැකියාව කොවිඩ් වසංගතය විසින් ප්‍රශ්න කරමින් සිටී. එසේම ලංකාව අනුගමනය කරමින් සිටි ආර්ථික ප්‍රතිපත්තියේ ද වෙනසක් කළ යුතුය යන පාඩම කොවිඩ් -19 වසංගතය අපට උගන්වමින් සිටී.

    මේ මොහොතේත් අප කටයුතු කරමින් සිටින්නේ අනාගතයේ මතුවන තත්ත්වයට මුහුණදීමේ චිත්ත ශක්තිය ඇතිවය. මාසයකටත් වඩා වැඩි කාලයක් රටේ ප්‍රධාන නගරවල ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවත් අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ ඇතුළු දෑ හි අඩුවක් නැතිව පවත්වාගෙන යන්නෙමු. ලක්ෂ 15කට අධික රාජ්‍ය සේවයේ වැටුප් අඛණ්ඩව ලබා දෙමින් ද එදිනෙදා රැකියාව කිරීමට නොහැකි වූ හැත්තෑ දෙලක්ෂයක් ජනතාවට ජීවනාධාරයක් ලබා දෙමින් ද අපි කටයුතු කරමින් සිටිමු.


    එසේම වැඩකරන ජනතාවට බලපාන කර්මාන්ත හා ව්‍යවසායන් රැකීමට අවශ්‍ය බදු සහන ලබා දීමට ද මේ දුෂ්කර අවස්ථාවේ අපි කටයුතු කළෙමු. වැඩ කරන ජනතාවගේ ශක්තිය ගොණු කළා වූද ලොව දරුණුතම ත්‍රස්තවාදය සමඟ සටන් වැද ජයගත්තාවූද අප මෙබඳු ප්‍රශ්න හමුවේ දණ නමන්නේ නැත. අතීතයට දොස් නඟමින් කෙඳිරි ගෑමද අපගේ සිරිත නොවේ.

    උදාවන තත්ත්වයට විසඳුම් ලෙස අනන්‍ය වූ ආර්ථික ප්‍රතිපත්තියක් ගොඩනඟා ස්වයංපෝෂිත ආර්ථිකයක් කෙරෙහි විශ්වාස තැබීමට සියලුදෙනාට සිදුවීම කොවිඩ් -19 වසංගතය ඉගැන්වූ පාඩමකි. රාජ්‍ය අංශ සතු ව්‍යාපාර රැකගනිමින් දේශීය ආර්ථිකය ගොඩනඟමින් කටයුතු කිරීමේ ප්‍රතිපත්තියෙහි එදා සිට යෙදී සිටි අපට කොවිඩ් -19 වසංගතය නිසා ජනතාව තුළ එම අදහස් තහවුරු වීම අපට ලැබෙන දැවැන්ත ධෛර්යයකි.


    එබැවින් මේ ලෝක කම්කරු දිනයේ කොවිඩ් වසංගතයට එරෙහිව සටන්වැදී සිටින සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය නිලධාරින් ඇතුළු සියලු ක්ෂේත්‍රවලට වැඩකරන ජනතාවගේ උත්තමාචාරය පිරිනැමිය යුතුය. මෙබඳු අභියෝග අපි භාරගන්නේ ධෛර්යවන්තවය. ඒ සඳහා වැඩකරන ජනතාව සමඟ වැඩ කර ලබා ගත් පන්නරය අප සතුය. ඔබ සැමට සෞඛ්‍යවත් හා ධෛර්යවත් අනාගතයක්!

    මහින්ද රාජපක්‍ෂ
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සාමාජවාදී ජනරජයේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya