නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපි හැමෝම ප්‍රජාතන්ත්‍රවාදීව එකම ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවත්විය යුතුයි

    ජූලි 04, 2018

    උතුරේ අවුරුදු තිහක යුද්ධයත් සමග ප්‍රජාතන්ත්‍රවාදය නැතිව තිබුණා. දැන් ප්‍රජාතන්ත්‍රවාදය ලැබිලා තිබුණත් තවමත් ප්‍රශ්න තිබෙනවා. දැන් තිබෙන ප්‍රශ්න විසඳන්න අමාරුයි. ඒ ප්‍රශ්න විසඳීමට අපි හැමෝම එකතුවෙලා කටයුතු කරන්න අවශ්‍යයි. එකම ශ්‍රී ලාංකිකයන් විදියට ජීවත්විය යුතුයි. එයට විරුද්ධව කිසිම කෙනෙක් කිසි දෙයක් නොකළ යුතුයි '' යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, යාපනය නගරයේ වීරසිංහම් ශාලාවේ දී &''නිල මෙහෙවර''  ජනපති ජනතා සේවය වැඩසටහන ආරම්භ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ රැස්වීමේ දී අදහස් දක්වමිනි.

    එහි දී අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

    ''උතුරේ ඉතාමත් අවාසනාවන්ත විදියට යුද්ධයක් තිබුණා. මේ යුද්ධය වගේම දකුණේත් 1971 දී 88-89 කාලයේ දී යුද්ධයක් තිබුණා. සැකය, අවිශ්වාසය හා එකිනෙකා තේරුම් නොගැනීම යන කාරණා නිසා මෙවැනි යුද්ධ පටන් ගන්නවා. දකුණේ යුද්ධය අවසන් වුණාට පස්සේ දකුණේ අයට සමාව ලැබී තිබෙනවා. ඒ කාලේ යුද්ධ කරපු අය දැන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට එක්වෙලා. මට මතකයි. මගේ නිවස අසළ පෝද්දල පොලිසියේ නිලධාරීන් ඇතුලට දාලා පොලිසිය ගිනි තියලා පිච්චුවා. ඒ කරපු අය වීරයන් සේ සළකන පිරිසක් ඉන්නවා. එයාලාව වාර්ෂිකව සමරන්නේ කොළඹ තියෙන ලොකුම උද්‍යානයේ ඔවුන්ට සමාව දුන්නා වගේම උතුරේ හා නැගෙනහිර යුද්ධ කරපු අයටත් සමාව ලැබිය යුතුයි. නමුත් ප්‍රශ්න තිබෙනවා. දැන් තියෙන ප්‍රශ්න විසඳන්න තරමක් අමාරුයි. නමුත් අපි අමාරුවෙන් හෝ ඉස්සරහට යන්න ඕනේ. ගමේ මිනිස්සු වැරදි කරන්න පුළුවන්. වැරදි කළාම තුවක්කුව අරගෙන ගිහින් වෙඩි තියන්න බෑ. හමුදාවට පොලිසියට ත්‍රස්තවාදීන් විදියට හැසිරෙන්න බැහැ. රටේ නීතියක් තියෙනවා. ඒවා පාලනය කරන්න තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියෙන්නේ. අපි ඉදිරියට යන්න ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදී විදියට. අද වැරද්දක් කරන කෙනෙක් ජීවිත කාලයටම වැරදිකාරයෙක් නෙවෙයි. ඒකයි දඬුවමක් දීලා දඬුවමෙන් පස්සේ සමාජගත කරන්නේ. 

     
     නිල මෙහෙර ජනපති ජනතා සේවය වැඩසටහන මගින් කරන්නේ මෙතෙක් නොවිසඳුණු ප්‍රශ්න විසඳීම. අපි දන්නවා යාපනයේ රාජ්‍ය නිලධාරීන් විවිධ පාලනයන් යටතේ වැඩ කරලා පලපුරුද්ද තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත්, ආයතන සංග්‍රහය අනුවත් කටයුතු කරමින් මේ ප්‍රදේශය දියුණු කළ යුතුයි. මෙහි තියෙන්නේ ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහටම මම ගියා. යාපනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල

    15ටම ඉදිරියේ දී යනවා. නිල මෙහෙවර වැඩසටහන පැවැත්වීමේ දී අද සියලුම ක්ෂේත්‍ර නිලධාරීන්ට ලබාදුන් ලිපි ගොනුව අනුව ගෙයින් ගෙට ගොස් ප්‍රශ්න එකතු කළ යුතුයි. යාපනයේ ගෙවල් 164,000ක් තියෙනවා. මා අනුමාන කරන ආකාරයට අපිට ප්‍රශ්න ලක්ෂ තුනක් පමණ එකතුවේවි. අපි මේ ප්‍රශ්න ටික එකතුකරලා දිසාපතිතුමාගේ මාර්ගයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට ගෙන්වාගෙන නිල මෙහෙවර වැඩසටහන පටන් ගන්නේ අනිකුත් අමාත්‍යාංශ 53ත් සම්බන්ධ කරගෙන. එතැන දී ප්‍රශ්න හඳුනාගෙනයි අපි ගමට එන්නේ. ගමේ දී විසඳන්න බැරි ප්‍රශ්න නැවත ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ නායකත්වයෙන් අමාත්‍යාංශවලට යොමුකරලා ඉක්මණින් විසඳන්න උත්සාහ ගන්නවා. මේ ප්‍රදේශයේ ජාතික හැඳුනුම්පත් නැති 10,000ට වඩා වැඩි පිරිසක් සිටිනවා ඇතැයි සිතිය හැකියි. ඒ වගේම ජීවිතේට ඇස් දෙකට කණ්ණාඩියක් නොදාපු අය 40,000ක් 50,000ක් පමණ සිටිනවා ඇතැයි සිතනවා. අපි මේ සියලු දෙනාට නොමිලයේ හඳුනුම්පත්, නොමිළයේ ඇස් කණ්ණාඩි දෙනවා. වාහන පදවන නමුත් රියදුරු බලපත්‍රය නැති අයත් 25,000ක් පමණ සිටිය හැකියි. මේ සියලු ප්‍රශ්න විසඳන්න අවශ්‍යයි. අපි දන්නවා ඉඩම් ප්‍රශ්නය බරපතල විදියට තිබෙනවා. එය ජාතික වශයෙන් විසඳන්න කටයුතු කරමින් සිටින අතරම ඔබේ ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් හිමිකම් ලබාදීමටත් රජය මේ වැඩසටහන සමග කටයුතු කරනවා. මෙය දවසකින් දෙකකින් කරන වැඩක් නොවෙයි. මේ වැඩසටන මාස ගණනක් ඉදිරියට කරගෙන යනවා. සැප්තැම්බර් අවසානය දක්වාම කරන්න වෙනවා.

     මේ වැඩසටහන දිගටම කරගෙන යමින් ප්‍රශ්න විසඳීම වගකීම සියලුම රාජ්‍ය නිලධාරීන්ට තියෙනවා. රාජ්‍ය නිලධාරීන් දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ආයතන සංග්‍රහය අනුව කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. අපේ අමාත්‍යාංශයේ ග්‍රාම නිලධාරීන් 14,000ක් ඉන්නවා. මේ දිස්ත්‍රික්කයේ ඉන් 450ක් ඉන්නවා. සංවර්ධන නිලධාරීන් 750ක් ඉන්නවා. ඊට අමතරව තවත් ක්ෂේත්‍ර නිලධාරීන් ඉන්නවා. මේ අය හිටියත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒක මේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ වැරද්දක් නොවෙයි. ඒ නිසා තමයි අපි අමාත්‍යාංශ 53 යාපනය දිස්ත්‍රික්කයට 16 වතාවක් ගෙනවිත් දැනට නොවිසඳුණු ප්‍රශ්න විසඳන්න කටයුතු කරන්නේ. අපි රජය බලයට පත්වෙන වෙලාවේ පොරොන්දු වුණා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා කියා. දැන් ඒ දේ කරලා තියෙන්නේ. දැන් ඔබ අපේ අනිත් පොරොන්දු ඉටු කරන්න රජයට සහය විය යුතුයි. රජයේ නිලධාරීන් බැඳී සිටිනවා මහජන නියෝජිතයන් මොන පක්ෂයේ වුණත් දෙයක් කරන්න කීවාම ඒක ඉටුකරන්න. ඒක කරන්න බැහැ කියා නොකර ඉන්න බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම එයට බැඳී සිටිනවා. ඔබේ වැටුප් වැඩි වුණාට පස්සේ රජය දුන් අනිත් පොරොන්දුත් ඉටුකරන්න සහය දිය යුතුයි. අපේ අවශ්‍යතාව ජනතාවගේ ගැටලු විසඳීම. ඒ සඳහා සහය අවශ්‍ය වෙනවා. " යාපනය දිස්ත්‍රික්කයේ ආර්ථික සංවර්ධන නිලධාරීන් සඳහා කාර්යාලයීය ගමන් මළු බෙදාදීම ද මෙහි දී සිදුකෙරිණි.

    විදශෙ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.පී.විග්නේශ්වරන් මහතා, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුහන්දිරන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.සරවනභවන් මහතා, පළත් සභා මන්ත්‍රී අනනදි ශසිධරන් මහත්මිය, පළාත් සභා මන්ත්‍රී සී.වී.කේ.ශිව ඥානම් මහතා ඇතුළු මහජන නියෝජිතයන් විශාල පිරිසක් ද පැමිණ සිටියහ.


    ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ එස්.ටී.කොඩිකාර මහතා ද යාපනය, කිලිනොච්චි හා වව්නියා දිසාපතිවරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya