බුද්ධ ගයාවේදී යුධ හමුදා සාමාජිකයින් පිළිගැනීම සඳහා ඉන්දීය යුධ හමුදාව විසින් සංස්කෘතික සංදර්ශනයක් සංවිධානය කර තිබූ අතර මහාබෝධි විහාරස්ථානයේද විශේෂ උත්සවයක් සංවිධානය කර තිබිණ. මෙම පිරිස මීටර් 80 ක දිගින් යුතු බුද්ධ ප්‍රතිමාව සහ සුජාතාගර් විහාරය ඇතුළු තවත් සුප්‍රසිද්ධ ස්ථාන රැසක්ද නැරඹුහ.
තවද ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරින් ගයා හි පිහිටි නිලධාරීන් පුහුණු කිරීමේ ඇකඩමියේදී ඉන්දීය හමුදා සාමාජිකයින් මුණගැසිණ. ඉන්දීය යුධ හමුදාපති ජෙනරාල් බිපින් රාවට් මහතා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සමඟ පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම විශේෂ බුද්ධ ගයා සංචාරය සංවිධානය කරන ලදී. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනාවක් පුරා පවතින පොදු බෞද්ධ උරුමය සැලකිල්ලට ගනිමින් ඉතා කෙටි කාලසීමාවක් තුළ ඉන්දියානු රජය මෙම උතුම් යෝජනාව සඳහා සහය දෙනු ලැබීය. මෙම සංචාරය දෙරටේ සන්නද්ධ හමුදා අතර පවත්නා ආරක්ෂක සහයෝගිතාවය තව දුරටත් ශක්තිමත් කර ගැනීමට ඉවහල් වනු ඇති බව ද කොළඹ පිහිටි ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය නිකුත් කළ පුවත්පත් නිවේදනයේ සඳහන් වෙයි.