නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිළිකා ඖෂධ ටෙන්ඩරයක මගඩියක් ඇති බවට ජනමාධ්‍යයේ පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම

    ජූලි 01, 2018

    පිළිකා ඖෂධ ටෙන්ඩරයක මගඩියක් ඇති බවට ඇතැම් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හා සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතා විසින් කරුණු දැක්වීමක් ඉදිරිපත්කර ඇත.

     

    ''ශ්‍රී ලංකාව ලෝකයේ හොදම සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යන රට වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශයත්, ඒ නිසාම ලෝක සෞඛ්‍ය දිනය නිල වශයෙන් පැවැත්විය යුතු රට ශ්‍රි ලංකාව බවට තීරණය කිරීමත් රටටත්, අපටත් මහත් අභිමානයක් වූ නමුත් ඇතැම් දේශපාලන කුහකයන්ටත්, ඖෂධ මාෆියාවේ සාමාජිකයින්ටත් බලවත් කණස්සල්ලට පත් වූ කරුණක් බව නොරහසකි. ඒ හේතුවෙන්ම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අපහසුතාවයට පත් කිරීමටත්, මඩ ප්‍රහාර දියත් කිරිමටත්, අභූත චෝදනා නැගීමටත් ව්‍යාජ හේතු සොයමින් සිටීම ඇතැමුන්ගේ ප්‍රමුඛ රාජකාරිය වන අතර ඒ සදහා ඇතැම් ජනමාධ්‍ය දැනුවත්ව හෝ නොදැනුවත්ව එම ව්‍යාපාරිකයින්ට සහයෝගය දැක්වීමේ මෙහෙවරක යෙදී සිටීම කණගාටුවට කරුණකි.


    ට්‍රැස්ටුසුනබ් නැමැති එන්නත මිල දී ගැනීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහා ටෙන්ඩර් මගඩියක් යන මාතෘකාවක් නිර්මාණය කොට ගෙන ඒ තුලින් ගෙන යන්නේ ද මෙම මාෆියාවේම එක් ප්‍රසංගයකි.


    “පිළිකා එන්නත් ටෙන්ඩරයෙන් මිලියන ගණනාවක පාඩුවක්. ටෙන්ඩරය නෑයෙකුටයි. ටෙන්ඩර් කමිටු ප්‍රබලයෙක් ඉල්ලා අස්වෙයි.” ඇතැම් මුද්‍රිත හා විද්්‍යුත් මාධ්‍ය ඔස්සේත්, සාමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේත් ප්‍රචාරය වූ ඇතැම් ව්‍යාජ ප්‍රවෘත්ති සිරස්තලයන් මෙසේ විය. ව්‍යාජ ප්‍රවෘත්තීන් හි සෑම වචනයක් පාසාම පිළිතුරු සැපයිය හැකි අතර, ඒ සදහා පිළිතුරු සැපයීමට පෙර කළ යුතු පැහැදිලි කිරීම් කිහිපයක් ඇති බැවින් ජනතාවගේ දැනගැනීමේ අයිතිය තහවුරු කිරිම පිණිස මෙම ප්‍රවෘත්ති සපයන්නන් හිතාමතාම ජනතාව නොමග යැවීම සදහා වසන් කරනු ලබන සත්‍ය හෙළි කිරීම සදහාත් මුලින්ම එම කරුණු හෙළී කළ යුතුව ඇත. ප්‍රශ්තුත පිළිකා එන්නත සදහා ශ්‍රී ලංකාවේ 2017 වර්ෂය දක්වා පැවැතියේ වෙළෙද ඒකාධිකාරියකි. එක්තරා බහු ජාතික වෙළෙද සමාගමක් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගිය එම ඒකාධිකාරය මත එම ඖෂධය ආනයනය කිරිම සදහා පමණක් රුපියල් මිලියන 1600 ක් හෙවත් කෝටි 160 ක් පමණ වැය කරමින් සිටි අතර, මෙය ජාතික අපරාධයක් වන හෙයින් මෙයට සෑම අතින්ම සමාන (Bio Similar) එන්නතක් නිසි පරිදි අධ්‍යයනය කොට විශ්ලේෂණය පිළිබද සුදුසුකම්ලත් මහාචාර්යවරුන්ගේ ඇගයීමට ලක් කොට ලියාපදිංචිය දෙන ලදි. මෙම දෙවන ඖෂධය හදුන්වාදීමත් සමගම රුපියල් දෙලක්ෂ අසුපන්දහසක් වූ එන්නත් කුපිප්පියක මිල එක රැයකින් රුපියල් එක්ලක්ෂ හතලිස්හතරදහස දක්වා පහත වැටිනි.

     

    එම අවස්ථාවේ දී වර්තමානයේ මොරදෙන බොහෝ දෙනා මෙයට විරුද්ධව හඩ තලන්නට වුයේ මිල අධික බහුජාතික සමාගම වෙනුවෙනි. එහෙත් කැබිනට් ටෙන්ඩර් මණෟඩලය දෙවන ඖෂධයේ මිල අඩු වූ පමණින්ම හෝ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය තිබූ පමණින්ම සහ අනෙකුත් සියලුම ටෙන්ඩර් කොන්දේසි සපුරා තිබුන නමුත් දෙවනුව හදුන්වා දුන් ඖෂධය සැපයීමට ටෙන්ඩරය එකවර පිරිනැමුයේ නැත. පිරිනැමුයේ මුලින් සියයට 25 ක ප්‍රමාණයක් පමණි. එසේ සියයට 25 ක් පිරිනමා එම ප්‍රමාණයේ භාවිතය අධීක්ෂණය කොට අතුරු ආබාධ, අතුරු බලපෑම්, ආසාද්මිකතාවයන් හෝ වෙනත් පැමිණිලි ඇති දැයි අධික්ෂණය කොට මෙම ඖෂධය සාර්ථක නම් පමණක් දෙවන අදියරේ දී ඉතිරිය ප්‍රදානය කිරිමට නියම කෙරුන අතර, රට පුරා රෝහල්වල එම ඖෂධ භාවිතය අධීක්ෂණයටත්, ඇගයීමටත් ලක් කිරීමෙන් පසු එහි සාර්ථකත්වය මතම පමණක් භාවිතයට නියම කෙරිනි. මෙම දෙවන එන්නතේ සාර්ථකත්වයෙන් පසු තරගකාරී මිල ගණන් මත තවත් සැපයුම්කරුවන් 03 ක් මේ සදහා මේ වනවිට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ලබා දී ඇත. ජාතික ඖෂධ නියාමන අධිකාරිය 2015 ට පෙර සහ වර්තමාන සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා වත්මන් සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් පත් කරන තුරු අලුතින් ලියාපදිංචිය සදහා ඖෂධ බාර ගැනීම සම්පුර්ණයෙන්ම පාහේ නතර කර තිබුනි. එසේ හෙයින් මොරදෙන ටෙන්ඩරය ලබාගැනීම අසමත් වූ සමාගම් වලට ලියාපදිංචිය පවා නොදී සිටීමට හොදටම හැකියාව සහ ඉඩ ප්‍රස්ථාව තිබුන අතර, මෙම සමාගම් වලට ලියාපදිංචිය ලබාදීම සිදු වූයේ වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ අපගේ මැදිහත්වීම මතය. එසේ දැනට ඖෂධය සපයන සමාගමට විශේෂ සැළකිල්ලක් දැක්වීමට අවශ්‍ය වුයේ නම් 2015 පෙර පරිදි අලුත් සමාගම් වලට ලියාපදිංචිය ලබා නොදීම තුලින්ම එය ඉතාමත්ම පහසුවෙන් කළ හැකිව තිබුන අතර, එවැනි විශේෂත්වයක් නොමැතිව තරගකාරීත්වය ඇති කිරීමේ චේතනාවෙන්ම මෙම සමාගම් වලට ද සැපයීම් අවස්ථාවට පාර කපා දී ඇත.


    මෙම මොරදෙන ටෙන්ඩර වලින් මුල් ටෙන්ඩරය නම් කරන ලද රෝගීන් වෙනුවෙන් විශේෂයන් මිල දී ගැනිම සදහා වුවත් වන අතර අනෙකුත් ටෙන්ඩර දෙක හදිසි අවශ්‍යතාවයන් සදහා කැදවන ලද ටෙන්ඩර දෙකකි. විශේෂිත හා හදිසි අවශ්‍යතාවයකට කැදවනු ලබන ටෙන්ඩරවලදී සියයට 25 ක ප්‍රමාණයක් ලබාගෙන එය අධීක්ෂණය කොට වාර්තා ලබාගෙන එම එන්නත්වල ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරමින් සිටීමට කාලයක් නැත. එම මිලදී ගැනීම් සිදු කරනු ලබන්නේ ප්‍රධාන කැබිනට් ටෙන්ඩරය කැදවා ඒ මගින් කරනු ලබන මිලදී ගැනීමේ කාර්යය ඉටු කරන තුරු අතුරු අවශ්‍යතා සපුරා ගැනීම සදහාය. ඒ අනුව පළමුවන වරට සපයනු ලබන සැපයුම්කරුවෙකුගෙන් මුල් අවස්ථාවේ දී මෙවැනි ටෙන්ඩරයක දී මිල දී ගැනීමක් කොහෙත්ම සිදු වන්නේ නැති බව කිව යුතුය. එසේ නොවන්නේ නම් කළ යුතු වන්නේ 2015 ට පෙර මෙන් රෝහල්වල ඖෂධ නොමැති බව පවසා රෝගීන්ට තුණ්ඩුව ලබාදී පිටින් මිල දී ගන්නා ලෙස දැනුම් දීමය. වර්තමාන ප්‍රතිපත්තිය එය නොවන අතර, රෝගීන්ට අවශ්‍ය සියලුම ඖෂධ රජයෙන් ලබාදෙයි.


    මෙම ටෙන්ඩර් 03 පිළිබද ක්‍රියාවලිය ගැන එක්තරා පුවත්පතක් සම්පුර්ණයෙන්ම පාහේ සාවද්‍ය තොරතුරු සහිත ප්‍රවෘත්තියක් පළ කොට තිබූ අතර එහි වැරදිද පෙන්වා දෙමින් අප විසින් නිවැරදි තොරතුරු සහිත ප්‍රකාශයක් නිකුත් කළ අතර එම පුවත්පත එම ප්‍රකාශය පළ කොට තිබුනි. එහෙත් නැවත නැවතත් පුන පුනා සාවද්‍ය ලෙස ද්වේශ සහගත ලෙස අසත්‍ය තොරතුරු ජනතාව නොමග යවමින් ප්‍රවෘත්ති පත්‍ර හා විද්්‍යුත් මාධ්‍ය තුලින් ද සමාජජාලා වෙබ් අඩවි තුලින් ද ප්‍රචාරය කිරීමෙන් පැහැදිලිව පෙනී යන්නේ බෙහෙත් ජාවාරම්කරුවන්ගේ ඇතැම් යටි අරමුණු වෙනුවෙන් ජනමාධ්‍යයන් පෙනීසීටීමේ ක්‍රියා කළාපයයි. මෙම අතෘප්තියට පත් ටෙන්ඩර්කරුවන් දෙදෙනෙකු මෙම ටෙන්ඩර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන මෙන් ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම ලැබී පැය දෙකක් ඇතුලත අවස්ථාව ලබාදෙන ලදි. එහෙත් අතෘප්තියට පත් ටෙන්ඩර් කරුවෙකුට කරුණු පැහැදිලි කළ පසු ඔහු එම කරුණු පැහැදිලි කිරිමට ස්තූතී කොට ප්‍රධාන ටෙන්ඩරය කැදවන විට දී එයට සහභාගිවීමට බලාපොරොත්තු වන බව ද දන්වා පිටව ගිය අතර අනෙක් අයට ද ඉතාමත්ම පැහැදිලි ලෙස කරුණු වටහා දෙන ලදි. තවදුරටත් කරුණු දැක්වුවහොත් එක් ටෙන්ඩර් කරුවෙකු ඉදිරිපත් කරනුයේ ඉරාණයේ නිෂ්පාදනය කරනු ලබන එන්නතකි. ඉරාණයට එරෙහිව සම්බාධක පනවා ඇති බවත්, බැංකු ඉරාණයට ණයවර ලිපි විවෘත නොකරන බවත් අමුතුවෙන් කිවයුතු නැත. එවැනි රටක ඖෂධයක් රට තුලට ගෙන ආවේ කෙසේ ද යන්න පිළිබදව පරීක්ෂා කිරිම ශ්‍රී ලංකා රේගුවටත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවටත් අදාල රාජකාරියකි. මහරගම අපෙක්ෂා රෝහලෙන් ඖෂධ හොරකම් කර නැවැත විකිණීම පිළිබදව දැනටමත් අධිකරණයෙහි නඩු පවතින හෙයින් එවැන්නන් ගැන මේ අවස්ථාවේ දී සදහන් කිරිම යෝග්‍ය නොවනු ඇත. එහෙත් ඇතැම් ඖෂධ ඔවුන්ගෙන් මිල දී ගැනීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහනම් කර තිබේ.


    මෙම අලුතින් ලියාපදිංචිය ලබාදුන් ඖෂධය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමා කළ ප්‍රකාශයක් ජුනි මස 06 දින ඩේලි මිරර් පුවත්පතේ පළ විය. පසුදින 2018 ජුනි 07 දින එම පුවත්පතම පළ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශයකි. පිළිකා ඖෂධ ආනයනය කිරිමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය පමණක් ප්‍රමාණවත් නොවන බවත්, පිළිකා රෝග පිළිබද වෛද්‍ය සංගමයේ අවසරයත් ලබාගත යුතු බවත්ය. එමෙන්ම සියලුම ඖෂධ එම වෛද්‍ය සංගම් වලින් විමසිය යුතුය. මෙම ඖෂධ තාක්ෂණ ඇගයීම් කමිටුවේ දී ඇගයීමට ලක් කරනුයේ ඒ ඒ විශේෂඥ වෛද්‍යවරුන්ය. පිළිකා විශේෂඥ වෛද්‍යවරුන් ද ඊට ඇතුලත් වෙයි. මෙම කරුණු වාර්තා කරන අතර තුර දී කියාපානුයේ සෞඛ්‍ය අමාත්‍යතුමත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ මොහොමඩ් රූම් මහතාත් සමීප සම්බන්ධතාවයක් පවත්වන බවත් මොහොමඩ් රූම් මහතාගේ මස්සිනා කෙනෙකු බව ඖෂධය සපයනු ලබන සමාගමේ අධ්‍යක්ෂවරයෙකු බවත්ය. මෙම චෝදනාව වරින්වර, වරින්වර බොහෝ කාලයක සිට හඩ කවමින් මාධ්‍ය ඔස්සේ ද ඇතැම් විටෙක පාර්ලිමේන්තුවේ ද කැළැ පත්තර මගින් ද ගෙන එනු ලබන අසත්‍ය චෝදනාවකි.


    මුල්වරට ලිපියක් මගින් මට ද පිටපතක් සහිතව සෞඛ්‍ය අමාත්‍යතුමාටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තුමාටත් මෙය යොමු කරනු ලැබුයේ මෙයට වසරකට පමණ පෙරදීය. එම ලිපිය ලද විගසම එය ව්‍යාජ ලිපිනයක් සහිත කැලෑ පත්තරයක් වුවත් සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ද උපදෙස් මත අප විසින් සමාගම් රෙඡිස්ටර් කාර්යාලයෙන් මේ පිළිබද පරීක්ෂා කරන ලදි. මෙම ප්‍රකාශය මත එකී සමාගමේ අධයක්ෂවරයෙකු ද ගෙන්වා ප්‍රශ්ණ කළ අතර, එය අමූලික බොරුවක් බව හෙළි විය. තව ද මොහොමඩ් රූමි මහතා දිවුරුම් ප්‍රකාශයක් මගින් කරුණු දක්වා සිටියේ ඔහු හෝ ඔහුගේ කිසිම ඥාතියෙකු එකී සමාගමේ පමණක් නොව ඖෂධ සහ සම්බන්ධ කිසිම සමාගමක අධ්‍යක්ෂවරයෙකු, කොටස් හිමියෙකු හෝ උනන්දුවක් දක්වන තැනැත්තෙකුවත් නොවන බවය. තව ද ඇතැම් නිවේදන නිකුත් කරන්නන් ගණන් ගත යුතු හෝ පිළිතුරු ලබාදිය යුතු තරමේ වැදගත්කමක් නැතත්, කිසිදු ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයෙකු ඉල්ලා අස් වී නොමැති බවත් කිව යුතු අතර, රෝගී ජනතාවගේ උපරීම ආරක්ෂාව සහ යහපතත් ඒ සමගම රජයේ මුදලට උපරිම වටිනාකමක් ලබාදෙන අතර තුර ටෙන්ඩර් පටිපාටිය නිවැරදිව අනුගමනය කරමින් සහ විනිවිද භාවයකින් යුතුව සියලු පිරිවිතරයන් සම්පුර්ණ කොට ඇති අවම මිල ගණන් සැපයූ සැපයුම්කරුට ටෙන්ඩරය ලබාදීමට කටයුතු කොට ඇති බවත් විශේෂයෙන් සදහන් කළ යුතුය.

    නීතිඥ සරත් ලියනගේ,
    සභාපති,
    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya