අපේ රටේ ජනතාවගේ ජීවිතය සමග බුද්ධාගමත්, කෘෂිකර්මාන්තයත් දීර්ඝ කාලයක් තිස්සේ බද්ධ වී තිබෙනවා.ඒ නිසා ගහට පොත්ත වාගේ ගොවිතැනත්, බුදුදහමත් එක් වී තිබෙන නිසා අපි “වැව් දහසක් - ගම්දහසක්” සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කළා.
බුදුදහම කියන්නේ අපේ රටේ ජනතාවට ආගමකට වඩා එය ඔවුන්ගේ ආත්මයයි. ගොවිතැන කියන්නේ ජීවන වෘත්තියකට වඩා ඔවුන්ගේ ජීවිතයයි. මේ දෙක කවදාවත් කිසි කෙනෙකුට මේ රටේ ජනතාවගෙන් ඈත් කරන්නට බැහැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අගුනකොළ පැළැස්ස වෙහෙරගොඩ විහාරස්ථානයේ ඉදි කළ නව චෛත්‍යරාජයාණන්වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ උත්සවයට පසුගිය (25) පස්වරුවේ සහභාගි වෙමිනි. මහින්ද අමරවීර මහතා ධීවර අමාත්‍යවරයාව කටයුතු කරද්දී වැවක් සමග ගමක් වැඩ සටහන යටතේ හිතවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙම දාගැබ ඉදි කිරීමට පියවර ගනු ලැබීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා - පොසොන් පොහෝ දිනයට තව දින දෙකක් තිබෙනවා.එසේ තිබියදී මෙම චෛත්‍යරාජයාණන්වහන්සේගේ කොත් නිරාවරණය කිරීමට ලැබීම මම භාග්‍යයක් කර සළකනවා. පොසොන් පොහෝ දිනය දා තමයි අපේ රටට බුදු දහම ඉන්දියාවේ අශෝක අධිරාජයා විසින් ලබා දුන්නේ. එතැන් පටන් අපේ රටේ ජනතාව බුදුදහම තමන්ගේ ජීවිතයටත් වඩා උතුම් කර සළකමින් ආරක්ෂා කරනවා. බුදුදහමත් එක්කම අපිට කෘෂිකර්මාන්තය ඇතුළු සියලු කලාවන්, කර්මාන්තවල මනා ශික්ෂණයකුත් ලැබුනා.
ඒ නිසා තමයි අපේ රටේ මිනිස්සු සතෙකුට කන්ඩ දෙන දෙයක් වුවත් වඩා හොඳ දෙයක් ලබා දෙන්නේ. බුදුරජාණන්වහන්සේ අත්හළ යුතු කර්මාන්ත අතරින් වසවිස වෙළෙඳාම සළකා තිබෙනවා. අපිත් දැන් වසවිසෙන් තොර කෘෂිකර්මාන්තයට හුරුවෙමින් සිටිනවා.
බුදුරජාණන්වහන්සේ සම්මා කම්මන්ත කියළා කිව්වේ යහපත් කර්මාන්තවලටයි. කිසිවෙකුටත් හානියක් නැතිව, හිංසාවක් නැතිව ඇගපත මහන්සිවෙලා හරි හම්බ කරන සාධාරණ ධනයකින් ජීවත් වෙන්න කියළයි.
ඒ නිසා අපේ බුදුදහමට ගැලපෙන එකම ජීවන වෘත්තිය ගොවිතැන තමයි. දැන් අපි කාබනික ගොවිතැනට මුල් තැන දෙමින් එම කටයුතු ව්‍යාප්ත කරන්නට කටයුතු යොදා තිබෙනවා. විශේෂයෙන් පුජ්‍ය අතුරලියේ රතන ස්වාමින්වහන්සේ කාබනික ගොවිතැන ව්‍යාප්ත කිරීම සඳහා විශාල උත්සාහයක් දරනවා. අපි රජය වශයෙන් උන්වහන්සේගේ කාර්යයට උපරිම සහාය පළ කරනවා.
ඒ නිසාම මම කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් මගේ පළමු රාජකාරිය වුනේ කාබනික වගාවේ නියැළෙන ගොවීන්ට මුල්‍ය ප්‍රතිපාදන ලබා දීම සඳහා අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම යැයි ද අමාත්‍යවරයා කීය.
මෙම අවස්ථාවට වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා ද සහභාගි විය.