1971 දී සොයා ගත් මේ රටේ තිබෙන විශිෂ්ටතම ස්වාභාවික සම්පතක් වන එප්පාවල පොස්පේට් නිධිය දැනට ලෝකයේ තිබෙන හොඳම පොස්පේට් නිධිය වේ. එයට හේතුව වන්නේ ලෝකයේ දැනට තිබෙන ස්වාභාවික පොස්පේට්වල අඩංගුවන පොස්පරස් ප්‍රමාණය සියයට 25 ඉක්ම නොවුවත්, එප්පාවල පොස්පේට් නිධියේ තිබෙන පොස්පරස් ප්‍රමාණය සියයට 33-40ක් දක්වා ඉහළ මට්ටමක පැවතීමයි.
නමුත් මෙම පොස්පේට් නිධිය මගින් අප රටට අවශ්‍ය සිංගල් සුපර් පොස්පේට් SSP නිපදවීම සඳහා සඳහා මීට දශක දෙකකට පෙර රජය වැය කළ යුතුව තිබුනේ රු. මි. 900ක් වුවද, එවකට පැවැති රජයන් විසින් එම මුදල ලබා දුන්නේ නැත.
නමුත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය බාර ගත් පසු එප්පාවල පොස්පේට් නිධියෙන් පොස්පේට් නිපදවීමේ කටයුතු ඇරඹීම සඳහා තාක්ෂණික අධ්‍යයනයක් සිදු කිරීමට විද්වත් කමිටුවක් පත් කරනු ලැබීය.
මෙම විද්වත් කමිටුවට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ඕ. ඒ. ඉලේපෙරුම මහතා ඇතුළු විද්වතුන් පිරිසක් නියෝජනය කළ අතර ඔවුන් විසින් සකස් කළ වාර්තාව ඊයේ පස්වරුවේ ( 20) අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කෘෂිකර්ම අමාත්‍ය කාර්යාලයේ දී බාර දෙනු ලැබීය .
මේ වනවිට අප රටට අවශ්‍ය SSP පොහොර ප්‍රමාණය මෙ. ටො. 100,000කි. ඒ සඳහා වාර්ෂිකව රජය රු. මි. 7000ක් පමණ වැය කරයි. එමනිසා මෙම පොස්පේට් නිධිය ඵලදායීව යොදා ගැනීම මගින් වාර්ෂිකව මෙරටට රු. මි. 7000ක මුදලක් ඉතිරිකර ගත හැකිවේ. එමෙන්ම අපේ ගොවිබිම්වලට අවශ්‍ය සිංගල් සුපර්පොස්පේට් අපේ රටින්ම නිපදවා ගැනීමට ද පිළිවන.
ලෝකයේ ස්වාභාවික පොහොර සම්පත සෑහෙන්නේ තවත් වසර 50කට පමණි. නමුත් එප්පාවල පොස්පේට් නිධිය තුළ තවත් වසර 150කට පමණ සෑහෙන පොස්පේට් අඩංගුව පැවතීම නිසා අනාගතයේදී ශ්‍රී ලංකාවේ සිංගල් සුපර් පොස්පේට් සඳහා ඉහළ ඉල්ලුමක් පැවතිය හැකිය. එම නිසා මෙම නිධිය ඵලදායීව භාවිතා කිරීමට පියවර ගත යුතු බව විද්වත් මණ්ඩලය පෙන්වා දුන්නේය. මේ වනවිට විදේශ ආයෝජකයින් රැසක් එප්පාවල පොස්පේට් නිධිය සඳහා ආයෝජනය කිරීමට ඉදිරිපත්ව ඇතත් කිසිවිටෙක මෙම නිධිය විදේශ රටකට බාර නොදෙන බව අමාත්‍යවරයා මෙහිදී කීය.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ලබන වසර වනවිට අනිවාර්යයෙන්ම එප්පාවල පොස්පේට් නිධිය මගින් සිංගල් සුපර් පොස්පේට් නිපදවීම ආරම්භ කිරීමට පියවර ගන්නා බවත්, එම කටයුතු සඳහා මුළිකවම අවශ්‍ය වන මුදල වන රු.බි. 02ක් වත්මන් රජය මගින් අනිවාර්යයෙන්ම ලබා දෙන බවත් කීය.
මෙහිදී මහාචාර්ය ඕ. ඒ. ඉලේපෙරුම මහතා විසින් එප්පාවල පොස්පේට් නිධිය මගින් සුපර් පොස්පේට් නිපදවීමට අදාලව සකස් කළ වාර්තාව අමාත්‍යවරයාට බාර දෙනු ලැබීය.