ඊයේ (07) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මෙම මස 11 වෙනි දිනට යෙදී ඇති ලෝක කෘෂිකර්ම දිනය සහ ආතර් වී. දියෙස් (කොස් මාමා) මැතිතුමාගේ ජාතික කොස් පැළ සිටුවීමේ ව්‍යාපාරය ආරම්භ කර වසර සියයක් (100) පිරීම නිමිත්තෙන් කොස් පැල මිලියනයක් වගා කිරීමේ ජාතික වැඩපිළිවෙල පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීමේ අරමුණින් මෙම ප්රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබිණ.
මෙම වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල පමණක් නොව නාගරීකරණය වූ ප්‍රදේශවල ජීවත්වන ජනතාවටත් තමන්ගේ ගෙවත්තේ නැත්නම් මල් පෝච්චියක මිරිස්, තක්කාලි, බණ්ඩක්කා වැනි එළවළු වගා කිරීමටත් ගෙවත්තේ ඉඩ කඩ තිබෙන ප්‍රමාණයට පළතුරු පැලයක් වගා කිරීමටත් යෝජනා කෙරේ. මෙහිදී වස විසෙන් තොර, කෘමි නාශක නොයෙදූ කාබනික පොහොර යොදා සකස් කරන ලද එළවළු සහ පළතුරු වගා කිරීමට අපේක්ෂිතයි.
මෙහි ප්‍රථම පියවර වශයෙන් කොස් පැල දශලක්ෂයක් සිටුවීමේ ජාතික ව්‍යාපාරය මෙම මස 11 සඳුදා දින ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත්, කෘෂිකර්මාන්තය ආර්ථික වශයෙන් වාසි ලැබිය හැකි ව්‍යාපාරයක් බවට පත් කිරීම තුළින් රටේ තරුණ පරපුර සහ විශ්‍රාම සුවයෙන් පසුවන අයව ඒ සඳහා ආකර්ශනය කර ගැනීමට පියවර ගන්නා බව මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙහිදි මාස 18 න් පීදෙන බට් කොස් පැල රෝපණය කිරීමට අපේක්ෂිත අතර කොස් ප්‍රධාන ආහාරයක් වශයෙන්, එළවළුවක් වශයෙන් සහ පළතුරක් වශයෙන් ප්‍රයෝජනයට ගැනීමට හැකි වීම විශේෂත්වයකි.මීට අමතරව පොල්, කරපිංචා, දොඩම් වැනි ඒ ඒ ප්‍රදේශවලට ආවේනික වස විසෙන් තොරව ආහාරයට ගත හැකි විවිධ පැල වර්ග බෙදා දීමටද නියමිතයි.
තවද විවිධ කලාප හඳුනාගෙන උචිත බෝග ඒවායේ වගා කිරීමටත්, ආහාර වර්ග ආනයනය අවම කරමින් කල් තබා ගැනීමට විවිධ රසායනික ද්‍රව්‍ය යොදා ආනයනය කරන පලතුරු වර්ග වෙනුවට අවශ්‍ය පලතුරු අපේ රටේම වගා කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ.
මීට අතිරේක වශයෙන් ඉදිරියේදී සියලු දෙනාව රටේ ජාතික නිෂ්පාදිතයට සක්‍රීය ලෙස දායක කර ගැනීමටත්, ගොවියා දිරි ගැන්වීම සදහා සහන මිලට පොහොර බෙදා දීමේ වැඩපිළිවෙල අඛන්ඩව ක්‍රියාත්මක කිරීමත් තුලින් කෘෂිකර්මාන්තය දියුණු කිරීමටත් යෝජිතයි.
එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව පවතින විශාල පොස්පේට් නිදිය වැඩි දියුණු කරමින් උපරිම ප්‍රතිඵල ලබා ගනිමින් ජාතික ආර්ථිකයට රුපියල් මිලියන 7000 ක් පමණ වාර්ෂිකව ඉතිරි කර දීමටත් අපේක්ෂා කෙරේ.
තවද ගොවි ජනතාව වෙනුවෙන් කෘෂි රක්ෂණ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරමින් ගොවීන් තුල වගා කිරීමට ඇති බිය තුරන් කිරීමටත්, වී, බඩ ඉරිඟු, සෝයා බෝංචි, අර්තාපල්, ළූණු ඇතුළු බෝග වර්ග 06 ක් රක්ෂණ වැඩපිළිවෙලට ඇතුලත් කරමින්, හෙක්ටයාරයක් රුපියල් ලක්ෂයක රක්ෂණය කිරීමට යෝජිතයි. මේ සදහා වාර්ෂික රුපියල් 5228/- ක් ආණ්ඩුවට වැය වුවද ගොවියා අවධානමෙන් බේරා ගනිමින් වගා කටයුතුවල යොමු කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මකයි. මේ සඳහා කිසිදු මුදලක් ගොවීන්ගේන් අය කර නොගැනීම විශේෂත්වයකි.
එමෙන් ගොවීන්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීම පහසු වන පරිදි අල, බී ළූණු අස්වනු නෙලා ගන්නා කාලයේදී ඒවා ආනයනය නොකර සිටීමටත්, අල. බී ළූණු, මුං ඇට, කව්පි, බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට ඒ සඳහා අවම මිලක් ලබා දීමටත් පියවර ගැනීමට අපේක්ෂිතයි.
මීට අමතරව අස්වනු ගබඩා කර තැබීමේ ගබඩා පහසුකම් වැඩි දියුණු කිරීමටත්, අලෙවිකරණය, පසු අස්වනු ක්ෂේත්රය කළමනාකරණය කිරීම, සත්ත්ව හානි හා රක්ෂණය, මානව සම්පත් කළමනාකරණය වැනි අංශ කෙරෙහි අවධානය යොමු කරමින් ඉදිරියේදී වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනු ඇත.