1982 අංක 35 දරණ ජාතික ශිල්ප සභා සහ අනුබද්ධිත ආයතන පනත යටතේ මෙම දිස්ත්‍රික් සභා පිහිටු වීම කරනු ලබයි.
මේ වන විට ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි වී සිටින ශ්‍රී ලාංකීය අත්කම් නිර්මාණ ශිල්පීන්ගේ ප්‍රමාණය 25,000 ක් පමණ වේ. එයින් සියයට 95% ක් පමණ කාන්තා ශිල්පීන් වීම විශේෂත්වයකි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ශිල්ප සභාව අපේ හස්ත කර්මාන්ත ශිල්පීන් සුරක්ෂිත කරලීම උදෙසා සුවිශාල මෙහෙවරක් ඉටු කරති. ඒ යටතේ හස්ත කර්මාන්ත ශිල්පීන්ට පුහුණුවක් ලබා දීම, ඔවුන්ට අවශ්‍ය මාර්ගෝපදේශන හා මග පෙන්වීම ලබාදීම, ඔවුනට අවශ්‍ය ණය පහසුකම් සලසා දීම මෙන්ම ඔවුන්ට දෙස් විදෙස් හොඳ වෙළෙඳපොළක් සොයා දීමද ඉටු කරනු ලබති.
මෙහිදී ශ්‍රී ලාංකීය හස්ත කර්මාන්ත ශිල්පියා ජාත්‍යන්තරය දක්වා රැගෙන යන ගමන ගැන අදහස් දක්වමින් කතා කළ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ පැවසීය.
"අපේ ජාතික උරුමයක් වන හස්ත කර්මාන්තය රැක ගැනීමට නම්, අප හස්ත කර්මාන්ත ශිල්පියා ආරක්ෂා කර ගත යුතු වෙනවා. ඒ සඳහා අපි දැනටමත් ජාතික ශිල්ප සභාව ඔස්සේ පියවර ගෙන තියෙනවා. අපි දේශීය හස්ත කර්මාන්ත ශිල්පියා ආරක්ෂා කර ගැනීම සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට දැනටමත් සැලසුම් කරලා තියෙනවා. මෙම රක්ෂණාවරණය ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින සියලුම දේශීය හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ට ලබා දෙනවා. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ හස්ත කර්මාන්ත ශිල්පීන් උදෙසා ලබා දෙන ප්‍රථම රක්ෂණාවරණය වෙනවා. ඒ වගේම අපගේ හස්ත කර්මාන්ත ශිල්පීන්ට තම අනන්‍යතාව විදහා දැක්වෙන සන්නාම නාමයන් බිහි කරවා ගැනීමටත් අපි උදව් කරනවා. ඒ වගේම අපේ ඓතිහාසික අත්කම් නිර්මාණ රටට හා ලෝකයට පෙන්වීම සඳහා ප්‍රදර්ශනය කිරීමට හස්ත කර්මාන්ත කෞතුකාගාරයක් පිහිටුවීමටත් අප සැලසුම් කරලා තියෙනවා. එසේම අපේ ශිල්පීන්ට නවීන තාක්ෂණික පුහුණුව ලබා දීම තුළින් ඔවුන්ගේ නිර්මාණ ජාත්‍යන්තරය දක්වා ගෙන යාමට අවශ්‍ය වෙළෙඳපොළ සබැඳියාවක් ඇති කිරීමටත් අපගේ සම්මානලාභී නිර්මාණකරුවන් ජාත්‍යන්තර අත්කම් ප්‍රදර්ශන සඳහා යොමු කර, ශ්‍රී ලාංකීය අත්කම් නිර්මාණ අනන්‍යතාව ලෝක ප්‍රජාව වෙත සන්නිවේදනය කිරීමටත්, ඔවුන්ට තව තවත් හස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයට උනන්දු කරවීම සඳහාත් පියවර රැසක්ම ගෙන තියෙනවා." යැයි පැවසීය.