අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.
වසර දහස් ගණනකට හිමිකම් කියන, ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති ශ්‍රී ලාංකීය අත්කම් හා කලා ශිල්පයන් පෝෂණය කරමින්, සංස්කෘතික වටිනාකම් සුරක්ෂිත කරන ආයතනයක් ලෙස මගේ අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ශිල්ප සභාව හඳුන්වා දීමට පුලුවන්. ගෙවී ගිය දශක තුනකටත් වැඩි කාලය තුළ අපගේ හස්ත කර්මාන්තයේ වටිනාකම් සංරක්ෂණය කරමින් හා සංවර්ධනය කරමින් එම ක්‍ෂේත්‍රයන්හි නියුතු ශිල්පීන්ගේ සුබසාධනය වෙනුවෙන් ජාතික ශිල්ප සභාව කර තිබෙන මෙහෙවර අති විශාලයි.
ඕනෑම රටක සිටින මෙවැනි කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ තුළින්, එම රටේ සංස්කෘතිය විදහා දැක්වෙනවා. ඒ වගේම අපේ රටේ සිටින මෙම හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ නිසා අපේ රටට ඉහළ වටිනාකමක් ලැබී තියෙනවා. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය සඳහා විදේශීය සංචාරකයින් ආකර්ශනය කර ගැනීමට මෙම හස්ත කර්මාන්තය ඉතා වැදගත් වෙනවා. මේ මඟින් අපේ ආර්ථිකයට විශාල ශක්තියක් ලැබෙනවා.
ජාතික ශිල්ප සභාව හස්ත කර්මාන්තය සුරක්ෂිත කර, එය නගා සිටුවීම උදෙසා පසුගිය කාලය තුළ වැඩ සටහන් රැසක්ම දියත් කරනු ලැබුවා. අපගේ තරුණ තරුණියන් මෙම හස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයට යොමුවීම අඩු මට්ටමක පවතිනවා. එම නිසා ජාතික ශිල්ප සභාව පාසැල් ළමුන් මෙම ක්‍ෂේත්‍රයට යොමු කරලීමේ අරමුණින් වැදගත් ක්‍රියාමාර්ග කිහිපයක් ගනු ලැබුවා. ඒ යටතේ ජාතික ශිල්ප සභාව අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව ශිල්ප නවෝදා වැඩ සටහන ආරම්භ කරනු ලැබුවා. මේ යටතේ දිවයිනේ පාසැල් ළමුන් 30,000 ක් සඳහා හස්ත කර්මාන්තය පිළිබඳ දැනුමක් ලබා දී තියෙනවා. ඒ වගේම පාසල් සිසුන් 15,000 ක් සඳහා පුහුණු වැඩ සටහනක් ද ක්‍රියාත්මක කරනු ලැබුවා. මෙම වැඩසටහන්වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ පළමු සමස්ත ලංකා පාසැල් හස්ත කර්මාන්ත තරඟය හා ප්‍රදර්ශනය පැවැත්වීමට හැකි වුණා. එහි ජයග්‍රහණය කළ සිසු දරු දැරියන්ගේ හා හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ ඇතුළත් හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය පැවැත්වීමට අද අපට හැකි වූ අතර ජයග්‍රහණය කළ පාසල් සිසුන්ට ත්‍යාග සහ සහතික ලබා දීමද අද සිදු වෙනවා. 2018 වසර සඳහාත් මෙම ශිල්ප නවෝදා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මගේ අමාත්‍යාංශය රුපියල් මිලියන 8 ක් හෙවත් ලක්ෂ 80 ක් වෙන් කරල තියෙන බව සතුටින් සඳහන් කරන්න ඕන.
ඒ ඒ රටවල අනන්‍යතාව පිළිබිඹු කරන්නේ ඒ රටේ හස්ත කර්මාන්තයයි. ඒ වගේම අපේ හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ සංස්කෘතිය, සිතුම් පැතුම්, ඉවසීම හා ශික්ෂණය ආදී තවත් බොහෝ දේ රැඳී පවතිනවා. ඒ නිසා අපේ හස්ත කර්මාන්ත රැක ගැනීම, වැඩි දියුණු කිරීම, ආර්ථික වශයෙන් පමණක් නොවෙයි සංස්කෘතික වශයෙන් ද වැදගත් වෙනවා. මෙම හස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයේ සුවිශේෂී වාසි රැසක්ම තියෙනවා. එනම්, මෙම කර්මාන්තය අනෙකුත් යාන්ත්‍රික කර්මාන්ත මෙන් පරිසර හානියක් ඇති කරන්නේ නැහැ. ඒ වගේම මෙම කර්මාන්තය ඔස්සේ ග්‍රාමීය මට්ටමෙන් රැකියා උත්පාදනය කිරීමේ ශක්‍යතාවක්ද පවතිනවා. එම නිසාම රජයක් වශයෙන් අපි හස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රය වැඩි දියුණු කරන්නට පියවර ගෙන තියෙනවා.
අපි ව්‍යවසායකත්ව ගම්මාන සංවර්ධන වැඩ සටහන යටතේ උතුරු නැගෙනහිර පළාත් ඇතුළු රටේ සියලුම පළාත් ආවරණය වන පරිදි හස්ත කර්මාන්ත ගම්මාන බිහිකරමින් සිටිනවා. ඒ වගේම හස්ත කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සුලභ කිරීමේ ව්‍යාපෘතිද රට පුරාම බිහි කිරීමට ජාතික ශිල්ප සභාව සමත් වී සිටිනවා. ඒ වගේම හස්ත කර්මාන්ත ශිල්පීන් ලියාපදිංචි කරමින් ඔවුන්ට අවශ්‍ය සහයෝගය, මාර්ගෝපදේශන, පුහුණුව මෙන්ම වෙළෙඳපොළ සොයා දීමටත් අපි පියවර ගෙන තියෙනවා. අපගේ ඉදිරි ඉළක්කය වන්නේ අපගේ හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ගේ විස්කම් නිර්මාණ ජාත්‍යන්තරය වෙත රැගෙන යාමයි. ඒ සදහා අපි දැනටමත් සැලසුම් කරලා තියෙන බව අපගේ සමස්ත හස්ත කර්මාන්ත ශිල්පීන්ට දන්වන්නට කැමතියි. යැයි පැවසීය.