කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ වූ අතර, එම අවස්ථාවට පූජ්‍ය අතුරලියේ රතන හිමි, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එම්.වීරසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ. මෙම වැඩසටහන රාජගිරියේ පිහිටි මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැත්විණ.
රජය විසින් හදුන්වා දෙන ලද කාබනික ගොවිතැන සම්බන්ධයෙන් ගත් විට, පසුගිය වසර තුළ කාබනික වගාවේ නිරත වන ගොවීන් පිරිස 5000 දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම 2017 වර්ෂය තුළ කාබනික වගාවෙන් ලබා ගත් වී අස්වැන්නෙන් හාල් කිලෝග්‍රෑම් ලක්ෂ 60ක් එම වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ වෙළඳපොළට නිකුත්කිරීමට හැකිව තිබේ. මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ, ඉදිරි මහ කන්නය වන විට අඩුම තරමේ ගොවීන් 20,000ක් අතර කාබනික වී වගාව ප්‍රචලිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් පියවර ගතයුතු බවයි. එමෙන්ම කාබනික ගොවිතැනේ නිරත වන ගොවීන්ට අවශ්‍ය බීජ වී නොමිලේ ලබා දීමටත්, වගාව සඳහා අවශ්‍ය වන යන්ත්‍රසූත්‍ර පහසුවෙන් ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීම කෙරෙහි අමාත්‍යාංශයේ අවධානය යොමු කර ඇති බවත්, අමාත්‍යවරයා සඳහන් කළේ ය.
එමෙන්ම කාබනික වගාවේ නිරත වන ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර ලබා ගැනීම සඳහා පොහොර සහනාධාරය වශයෙන් මුදල් ප්‍රතිපාදන ලබා දීමට ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් මණ්ඩලය සියලුදෙනා ඒකමතිකව සම්මත කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
වත්මන් රජය යටතේ කාබනික ගොවිතැන ව්‍යාප්ත කිරීමට කටයුතු කරන අතර , මේ රජය බලයට පත්වන විට පැවති රජය පොහොර මිලදී ගැනීම සඳහා රු.මි. 48,000ක මුදලක් පොහොර සමාගම්වලට ණය වී සිටි බව කීය. පොහොර සමාගම් පොහොර ලබාදීම පවා අත්හිටුවන තත්ත්වයක පසු වූ අතර, වත්මන් රජය විසින් පොහොර සමාගම්වලට ගෙවීමට තිබූ හිඟ මුදලෙන් මේ වනවිට රු.මි. 36,000ක් පමණ ගෙවා අවසන් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.