කථානායකවරයා මේ බව සඳහන් කළේ, අනුරාධපුර ප්‍රදේශයේ කලක දුෂ්කර මායිම් ගම්මානයක් ලෙස සැලකුණු මහවිලච්චිය හැලඹවැව ඇලපත්ගම ප්‍රදේශයේ මාදුළුවාවේ සෝභිත හිමි නමින් ගොඩනැගෙමින් පැවතෙන ගම්මානයේ ඉන්දියානු මූල්‍ය ප්‍රදානයෙන් ඉදිවෙන නව නිවාස 153ක් සඳහා මුල්ගල් තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින්.
ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමි ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් උත්සවය පැවැත්විණි.
මාදුලුවාවේ සෝභිත නාහිමියන් යුද තර්ජනය, දැඩි නියඟය සහ වන අලි තර්ජන හේතුවෙන් ස්වකීය සම්ප්‍රදායික ගම්බිම් අත්හැර දමා යමින් සිටි විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වනාන්තරය මැද හුදකලා වූ ඇලපත්ගම ප්‍රදේශය බලා වැඩම කලේ 1985 වර්ෂයේදීය.
එම ප්‍රදේශයේ ජනතාව දිරිමත් කර තමන්වහන්සේට පුද්ගලිකවම ලැබුණු පරිත්‍යාගයන්ගෙන් ඔහු හට උපකාර කරමින් එම ගම්මානය යළි ගොඩනැගීම උන්වහන්සේ ආරම්භ කළහ. එම ප්‍රදේශයේ පැල්පත්වල විසූ පවුල් 153 ක් සඳහා නව නිවාස සාදා දීම සෝභිත හිමියන්ගේ අපේක්ෂාවක් වුවද හිමියන්ගේ දෛවය ඊට හරස් විය.
සෝභිත හිමියන් වෙනුවෙන් එම වගකීම ඉටු කිරීම උන්වහන්සේට කරන කෘතගුණ දැක්වීමක් ලෙස සැලකූ කරු ජයසූරිය මහතා එම ගම්මානය ගොඩ නැගීම යලි ආරම්භ කළේය. 2016 වසරේ සෝභිත හිමියන්ගේ උපන් දිනය යෙදුණු මැයි මස 29 වෙනිදාය. රජයට බරක් නොවී නව නිවාස 153 ක් සඳහා යන සම්පූර්ණ වියදම ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ලබා ගැනීමට පසුගියදා කරු ජයසූරිය මහතා සමත් වූ අතර එම නිවාස සඳහා මුල්ගල තැබීමට සමගාමීව එම ප්‍රදේශයේ ඉඩම් හිමියන් සඳහා සින්නක්කර ඔප්පු ප්රදානය කිරීමටද ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කටයුතු කර තිබිණි.ශ්‍රි සෝභිත හිමි අනුස්මරණ ගම්මානයේ නව නිවාස සංකීර්ණය සඳහා මුල්ගල තැබීමේ උත්සවයට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක, නිවාස හා ඉදිකිරීම් ඇමති සජිත් ප්‍රේමදාස, සමෘද්ධි හා සමාජ සවිබල ගැන්වීම් ඇමති පී. හැරිසන්, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සුභසාධන ඇමති දයා ගමගේ යන මහත්වරු සහ විශේෂ ආරාධිතයෙකු ලෙස ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දියානු මහ කොමසාරිස් ආචාර්ය අරුන්දන් බග්චි යන මහත්වරුද එක් වූහ.
මෙහිදී කථානායකවරයා සඳහන් කලේ සෝභිත නාහිමියන් මහා සමාජ ප්රතිසංස්කාරකයෙකු ලෙසත් බෞද්ධ ලෝකය වසඟ කළ විචිත්‍රවත් ධර්ම කථිකයෙකු ලෙසත් සංඝ සමාජය බැබලවූ මහා තෙර නමක ලෙසත් සමාජය හඳුනා ගනු ලැබුවද උන්වහන්සේ තුළ තිබූ මානව දයාව පිරි චරිතය ඇලපත්ගම වැනි හුදකලා ගම්මානයක දුෂ්කර ජීවිත ගෙවූ ජනතාව සොයා ගොස් ඔවුනට පිහිටවීමෙන් විද්‍යමාන වන බවය. සෝභිත හිමි වෙනුවෙන් ශ්‍රී ලාංකීය ජාතියට කළ හැකි විශාලම යුතුකම උන්වහන්සේ ප්‍රාර්ථනා කළ නිදහස් සාධාරණ යුක්ති ගරුක සමාජය බිහි කිරීම බවද කථානායකවරයා පෙන්වා දුන්නේය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කථානායක කරු ජයසූරිය මහතා -‘සෝභිත හිමියන් තරම් සමාජයේ සෑම තරාතිරමකම මිනිසුන්ට සමීප වූ භික්ෂූ චරිතාපදනයන් මෑත යුගයේ දැකීමට නොහැකි තරම්, උන්වහන්සේ ආගමික සමාජීය සේවාවේදී තනතුරු හෝ ප්‍රසිද්ධිය අපේක්ෂා කළේ නැහැ.
දශක තුනකට ආසන්න කාලයක් උන්වහන්සේ මෙවන් ගම්මානයක් ගොඩනගමින් සිටි බව බොහෝ දෙනෙක් දැන සිටියේ නැහැ. කෝට්ටේ නාග විහාරයේ සැප පහසු ලෙසින් වැඩ සිටින්නට හැකි වුවත් තමන්ට ලැබුණු දෙයක් කරපින්නාගෙන දුරකතර ගෙවා වන දුර්ග මැදින් ඇලපත්ගමට වැඩම කළ උන්වහන්සේ මේ ජනතාව සමග දුෂ්කර ජීවිතය අත්දකිමින් ඔවුන් සමග කාලය ගත කිරීම සැපතක් යැයි සැලකුවා. උන්වහන්සේ මෙහි ජනතාව සමග එක්ව වන අලි සහ ත්‍රස්තවාදී තර්ජනයට මුහුණ දුන්නා. සෝභිත හිමි නොවන්නට මේ ගම ජන ශුන්‍ය වී බොහෝ කල් විය හැකියි. උන්වහන්සේ සමග එකම මාවතක පැමිණි අපට එදා නායකත්වය දුන් සාධාරණ සමාජයක් සඳහා සමාජ ව්‍යාපාර හරහා මේ රට වෙනස් කිරීමට හැකි වුණා. උන්වහන්සේගේ අහිංසක සිහිනයක් වූ ඇලපත්ගම ගම්මානය යලි ගොඩ නැගීම එම ගමනේ කොටස්කරුවන් වූ අපගේ යුතුකමක් බව අපි කල්පනා කලා. ඒ සඳහා අපට යෝධ ශක්තියක් ලබා දුන් ඉන්දියානු රජයන් ඉන්දියානු මහ කොමසාරිස්තුමා ඇතුළු මහ කොමසාරිස් කාර්යාලයේ සියළු නිලධාරිනුත් දැක්වූ උනන්දුව පැසසිය යුතු යැයිද කථානායක කරු ජයසූරිය මහා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දියානු මහ කොමසාරිස් අරුන්දන් බග්චි මහතා සඳහන් කලේ ලෝකයේ සෑම රටක් සමගම ඉන්දියාව පවත්වන සබඳතාවය ඉක්මවා ගිය ඓතිහාසික සංස්කෘතික බැඳීමක් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ඇති බවයි. ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා බුදු දහම කෙරෙහි දක්වන භක්ත්‍යාදරය පිරිසිදු බුදුදහම ස්ථාපිත වූ ශ්‍රී ලංකාව කෙරෙහිද දක්වන බවයි. බුදු සසුන පෝෂණය කළ මෙරට භික්ෂු සමාජයේ අද්විතීය චරිතයකට ගෞරව දක්වන්නට ලැබීම පිලිබඳව බෙහෙවින් සතුටට පත්වන බවත්ය. ඉන්දියානු ආධාරයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක ජතාවගේ සුබසිද්ධිය උදෙසා ව්‍යාපෘති රැසක් දියත් වන බව සඳහන් කළ වැඩ බලන මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව දිනෙන් දින ඉදිරියට යනු දැකීම කල්‍යාණ මිතුරෙකු ලෙස භාරත දේශයේ අපේක්ෂාව බවද සඳහන් කළේය.
සෝභිත හිමි ගම්මානයේ ඉන්දියානු ආධාරයෙන් ඉදිවන නව නිවාස 153 ව්‍යාපෘතිය නිවාස අමාත්‍යාංශයේ පූර්ණ අධික්ෂණයෙන් සිදු වේ. උත්සව අවස්ථාවට සහභාගි වූ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ඒ අමාත්‍යාංශය මගින් ලැබුණු සෑම සතයක්ම උපරිම විනිවිදභාවයෙන් යුතුව සහ ඵලදායී ලෙස යොදවමින් කථානායකතුමා සෝභිත හිමි නාමයෙන් ඉටු කරන යුතුකමට සහාය වන බවය. ස්වකීය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන උදාගම් සංකල්පය වෙනුවෙන්ද ඉන්දියානු රජය දක්වන අනුග්‍රහය හෙතෙම අගය කළේය.
කථානායකවරයාගේ ඉල්ලීම පරිදි නිවාසලාභී පවුල් 153 සඳහාම ඉඩම් වල නිත්‍යානුකූල ඔප්පු ප්රදානය කිරීමට කටයුතු කළ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අදහස් දක්වමින්, ඇලපත්ගම දුණුමඩලාව ප්‍රදේශයේ ජීවත් වන ජනතාව වර්තමානයේ අසරණ ජීවිත ගත කරන පිරිසක් වුනත් ඔවුනට වසර දහස් ගණනක දිගු ඉතිහාසයක් තිබෙනවා. ඔවුන් විජය රජුගේ ශ්‍රී ලාංකික බිසව වූ කුවේණියගේ පරපුරට නෑකම් කියනවා. දුණු ශිල්පයෙහි සහ අංගම් සටන් කලාවෙහි විශිෂ්ඨයන් වූ ඔවුන්ගේ මුතුන් මිත්තන් රජරටට එල්ල වූ සොලී ආක්‍රමණිකයන්ගෙන් රට මුදා ගැනීමට නිර්භයව සටන් කළා.
සෝභිත නාහිමියන් ඔවුන්ගේ ඓතිහාසික උරුමය දැන සිටියා. උන්වහන්සේ ප්‍රාර්ථනා කල ඓතිහාසික යුතුකම ඉටු කරන්නට කළගුණ දත් නායකයෙක් ලෙස කථානායකතුමා මූලික වුණා. යහපත් සිතිවිලි හැම විටම යහපත් ප්‍රතිඵල උදා කරන බව සෝභිත හිමියන්ගේත් කථානායකතුමාගේත් උත්සාහයට ඉන්දියාවෙන් ලැබුණු ශක්තිය තුලින් පැහැදිලි වෙනවා. මෙම අවස්ථාවට එක් වූ ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සුභසාධන අමාත්‍ය දයා ගමගේ මහතා පැවසුවේ නව අමාත්‍යාංශය මගින් ගොඩනගන අපනයන ගම්මාන 1000 ක වැඩ පිළිවෙලෙහි කේන්ද්‍රස්ථානයක් බවට ඇලපත්ගම ප්‍රදේශය පත් කරමින් සෝභිත හිමි නාමයට ගෞරව දක්වන බවයි. එම ප්‍රදේශය කෙටි කලක් තුළ පොහොසත් බලවත් ගමක් ලෙස නගා සිටුවීම තම අරමුණ බවද හෙතෙම පැවසීය. වැඩි දියුණු කරන ලද අපනයන භෝග පැල ප්‍රදේශයේ ජනතාව වෙත බෙදා දීමද අමාත්‍ය දයා ගමගේ මහතා අතින් සිදුවිය. එම අවස්ථාවට ප්‍රදේශය නියෝජනය කරමින් සමෘද්ධි හා සමාජ සවිබල ගැන්වීම් ඇමති පි. හැරිසන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඉෂාක් රහුමාන්, චන්දිම ගමගේ සහ උතුරු මැද පළාත් විපක්ෂ නායක අනුල් රත්නායක යන අය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ