ඒ වගේම අපගේ සමූපකාරයට නවීන තාක්ෂණය මුසු කරමින්, පොදු ජනතාවගේ අභිමානවත් ව්‍යවසායකයෙකු බවට පත් කරනවා. ඒ වගේම සමූපකාර සේවක සේවිකාවන් වන ඔබගේ වෘත්තීයභාවයට ඉහළ පිළිගැනීමක් ලබා දීමට ඉදිරි වසර කිහිපය තුළ පියවර ගන්නවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති සමූපකාර නායකයින්ගේ විශේෂ හමුවේ දීය.
වර්ෂ 1906 දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා සමූපකාර ව්‍යාපාරයට මේ වන විට අවුරුදු 112 ක් ගත වී තිබේ. මේ වන විට දිවයිනේ පළාත් 09 යේම සමූපකාර ව්‍යාපාරය ව්‍යාප්ත වී ඇති අතර මේ වන විට සමූපකාර අලෙවිසැල් සංඛ්‍යාව 3108 කි. එහි මෙගා කෝප්සිටි 28 ක්, කෝප්සිටි 368 ක්, මෙන්ම විවිධ සේවා සමූපකාර සමිති 304 ක් හා සමූපකාර ප්‍රාදේශිකයන් 1679 ක් පවතී.
මෙම සමූපකාර නායක සමූළුවට දිවයිනේ පළාත් 09 හි, දිස්ත්‍රික්ක 26 ම නියෝජනය කරමින් සමූපකාර නායක නායකයින් 500 ක් පමණ සහභාගී විය. මෙම සමුළුව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හා සමූපකාර සමිති සම්මේලනය මඟින් සංවිධානය කර තිබුණි.
මෙහිදී අමාත්‍යවරයා හා සමූපකාර නායකයින් අතර අදහස් හුවමාරු වූ අතර, සමුපකාර පළාත් නායකයින් විසින් තම ගැටළු ගැන කරුණු ඉදිරිපත් කළ අතර, නව යෝජනා රැසක්ද ඉදිරිපත් කරනු ලැබීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ ද පැවසීය.
"සමස්ත සමූපකාර ක්‍ෂේත්‍රයේ සේවයේ නියුතු නායක නායිකාවන්ගේ මෙන්ම සේවක සේවිකාවන්ගේද ආකල්පමය වෙනසක් ඇති කළ යුතුයි. ඒ සඳහා සේවක පිරිසට මනා පුහුණුවක් ලබා දීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම සමූපකාර ව්‍යාපාරයේ සේවක ඔබගේ අභිමානය වර්ධනය කරන්න පියවර ගන්න ඕන. ඒ සඳහා සේවක ඔබගේ සහයෝගය අවශ්‍ය වෙනවා. ඔබගේ වැටුප පවා ඒ සේවාවට උචිත විදියට වෙනස් කරගෙන අභිමානවත් වෘත්තියක් බවට සමූපකාර සේවාව පත්කර ගන්නට පුලුවන්.
ඒ සඳහා ඔබගේ කැපවීම, විනය, කාරයක්ෂමතාව මෙන්ම ඵලදායීතාව ද අවශ්‍ය වෙනවා. එම නිසා සමස්ත සමූපාකර සේවක ඔබට ඉතා හොඳ පුහුණුවක් ලබා දෙන්න මම පියවර ගන්නවා. ඒ වගේම නවීන තාක්ෂණය භාවිතයට ඔබව හුරු කරන්න ඕන. ඒ වගේම තරඟකාරී වෙළෙඳපොළට ගැලපෙන ආකාරයට අපගේ සමූපකාර පද්ධතිය මෙන්ම ඔබද වෙනස් වෙන්න ඕන. ඒ වගේම රටේ සෑම සමූපකාරයකින්ම අලෙවි කරන භාණ්ඩ මිළ එකම මිළක් විය යුතුයි. ඒ මිළ සමූපකාරයෙන් සමූපකාරයට වෙනස් වෙන්නෙ නැහැ.
එමෙන්ම ඔබගේ සමූපකාර පිහිටි ස්ථානවල ඉඩම් ප්‍රශ්න ඇත්නම් ඒවා ඉඩම් ඇමතිතුමා සමඟ සාකච්ඡා කරලා විසඳලා දෙනවා. එම නිසා ඔබ ඔබගේ ප්‍රදේශවල තියෙන සම්පත් භාවිතා කරමින්, තම සමූපකාරය තුළින් එම සම්පත්වල ප්‍රයෝජනය ලබාගෙන නව නිෂ්පාදන වෙළෙඳපොළට හදුන්වා දෙන්න ඕන. ඒවාට හොද වෙළෙද පොළක් අපට ලබා දීමට පුලුවන්. ඒ වගේම එම නිෂ්පාදන විදේශීය රටවල්වලට අපනයනය කරන්නට සහයෝගය ලබා දෙන්න අපට පුළුවන්. මේ අනුව ඔබගේ සමූපකාර 300 ඔස්සේ අලුත් ව්‍යාපෘති 300 ක් ඔබට ආරම්භ කරන්න පුළුවන්.
ඒ යටතේ නව රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපි ඉදිරි කාලයේදී ඔබ යෝජනා කළ පරිදි සමුපකාර ග්‍රාමීය බැංකු සියල්ලම එකට එකතු කරලා සමූපකාර සංවර්ධන බැංකුවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම අපේ සමුපකාර පද්ධතිය ගැන තියෙන වැරදි ආකල්ප හා ප්‍රතිරූපය වෙනස් කරන්න පියවර ගන්න ඕන. එමෙන්ම නවීන ලෝකයට ගැලපෙන පරිදි අපගේ සමූපකාර පද්ධතිය ඩිජිටල්කරණය කරලා වඩාත් ඵලදායී මෙහෙවරක් සමුපකාරය තුළින් රටේ ජනතාවට ලබා දෙන්න ඕන. ඒ සඳහා අපි අදම සූදානම් විය යුතුයි. එවිට අපේ සමුපකාරය අපට බබලවන්න පුලුවන් වෙනවා." යැයි පැවසීය.
මෙහිදී සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමූපකාර සමිති රෙජිස්ට්‍රාර් එස්.එල්. නසීර්, ජාතික සමූපකාර මණ්ඩලයේ සභාපති ලලිත් පීරිස්, ග්‍රාමීය බැංකු මහා සංගමයේ සභාපති ධම්මික සොලමන්ස්, සමූපකාර සමිති සම්මේලනයේ සභාපති රුවන් බණ්ඩාර තෙන්නකෝන් මහත්වරැද අදහස් දැක්වීය.