අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියා වෙළඳපොළ ජයගත හැකි දිශානතියකට දරුවන් යොමුකිරීම රජයේ අරමුණයි- අධ්‍යාපන ඇමැති

    මැයි 16, 2018

    රටේ කිසිදු දරුවෙකුට සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත්වීම නිසා උසස් පෙළ හැදෑරීමට ඇති අයිතිය අහිමි කළ නොහැකි බවත්, වසර 2019 සිට සාමාන්‍ය පෙළට පෙනී සිටින සියලු දරුවන්ට උසස් පෙළ හැදැරීමේ අවස්ථාව සලසාදෙමින්,  13 වසරක පාසල් අධ්‍යාපනය සහතික කිරීමත්, අනාගත රැකියා වෙළඳපොළ ජයගත හැකි දිශානතියකට දරුවන් යොමුකිරීමත් රජයේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

     විභාගයක් යනු මතකය මැනබැලෙන එක් ක්‍රමයක් වන හෙයින් දරුවන්ගේ අනාගතය ඒ මත තීරණය කරනු වෙනුවට පිරුණු හැකියාවන්ගෙන් යුත් මානව සම්පත් ගොඩනැඟිය හැකි තැනක් බවට පාසල් පරිවර්තනය කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහනේ පළමු අදියරේ ප්‍රගතිය සමලෝචනය සහ දෙවැනි අදියර ක්‍රියාවට නැංවීම වෙනුවෙන් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති විශේෂ හමුවකට එක්වෙමින්.

    අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් සිදුකරමින් ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන සම්බන්ධ ව විවිධ විවේචන, චෝදනා, මතවාද පැවතියත්,ලොව  පිළිගත් අධ්‍යාපනඥයින් විසින් සිදු කරන ලද අධ්‍යයනයන් සහ නිර්දේශ ඇසුරෙන් මෙම ප්‍රතිපත්තිමය පියවර ක්‍රියාත්මක කළ බවත් මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළා.  අනාගත රැකියා වෙළඳ පොළ අවශ්‍යතා වර්තමානයට වඩා බෙහෙවින් වෙනස් විය හැකි බවත්, එම වෙනස්වීම්වලට ගැළපෙන පරිදි වෘත්තීය හැකියාවන් සන්නද්ධ කරගත් දරුවන් ඉදිරියේ දී පාසල් පද්ධතියෙන් බිහිකළ යුතුව පවතින බවත් මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කළා.

    13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන හරහා නව ලොව රැකියා අවස්ථා සඳහා පුළුල් ඉඩප්‍රස්ථා විවර කරදෙමින් නව වෘත්තීය විෂයයන් 26ක් සහිත ව වෘත්තීය විෂය ධාරාවක් හඳුන්වා දී තිබෙනවා. මෙම වැඩසටහනෙහි පළමු අදියරේ දී  පාසල් 42ක සිසුන් 4000කට අධික සංඛ්‍යාවකට ‍වෘත්තීය විෂයධාරාව හැදෑරීමට අවස්ථාව සැලසුණු අතර, දෙවැනි අදියරේ දී පාසල් 150ක සිසුන් 14000කට අධික පිරිසකට මෙම අවස්ථාව ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.

    ඒ අනුව, දිවයිනේ සියලු පළාත් සහ සියලු අධ්‍යාපන කලාප නියෝජනය වන පරිදි තෝරාගත්, පාසල් 192 ක මේ වසර වනවිට මෙම විෂය ධාරාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මේ සඳහා ගුරුවරුන් 2100ක් මේ වනවිටත් අධ්‍යාපන පද්ධතිය වෙත බඳවා ගැනීමට කටයුතු යොදා ඇති අතර, ජාතික අධ්‍යාපන ආයතනය මඟින් එම ගුරුවරුන් පුහුණුකිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතයි. මෙම වැඩසටහන වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 3600 ක් වෙන් කර ඇති අතර පන්ති කාමර පහසුකම්, ගොඩනැගිලි පහසුකම් සහ ප්‍රමාණවත් ගුරුවරුන් සම්බන්ධව මතුවන ගැටළු සහ අභියෝගවලට ඒ හරහා විසඳුම් ලබාදිය හැකි බව ද අමාත්‍යවරයා මෙම හමුවේ දී පැහැදිලි කළා.

    මේ අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටි ආරච්චි, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන, අතිරේක ලේකම් (අධ්‍යාපන ප්‍රතිසංස්කරණ)  වයි ඒ එන් ඩී යාපා මහතා ඇතුළු අමාත්‍යාංශ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, සියලු පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන්, 13වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන ක්‍රියාවට නැංවෙන පාසල්වල විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya