මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති 8,330 සම්පූර්ණයෙන්ම අවසන්

    මැයි 03, 2018

    ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ 2018 මාර්තු මස අවසන් වනවිට දිවයින පුරා පාසල්වල හඳුනාගත් සංවර්ධන අවශ්‍යතා සහිත ව්‍යාපෘති 13,082ක වැඩ ආරම්භ කර ඒ අතරින් ව්‍යාපෘති 8,330 ක සංවර්ධන කටයුතු සම්පූර්ණයෙන් ම අවසන් කර තිබේ.

    මෙම තොරතුරු අනාවරණය වූයේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සියලුම පළාත් ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ ළඟම පාසල - හොඳම පාසල ව්‍යාපෘතියට සම්බන්ධව කටයුතු කරන සියලු ම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය  දා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දීයි.

    ඒ අනුව 2018 මාර්තු මස 31 දින වන විට පන්ති කාමර සහිත ගොඩනැගිලි 84 ක් සහ පාසල් 195ක තනි මහල් ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ද, පාසල් 38 ක දෙමහල් ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ද ඉදිකිරීම් අවසන් කර තිබේ. එසේම පාසල් 36 ක විද්‍යාගාර, පාසල් 31 ක තාක්ෂණික විද්‍යාගාර, පාසල් 7 ක සෞන්දර්යය ඒකක මේ වන විට සිසු අයිතියට පවරා තිබේ. A වර්ගයේ පාසල් 269 ක මිලියන 2 ක බැගින් වැය කළ අලුත්වැඩියාවන් සහ පාසල් 132 ක මිලියන 9.5 ක් බැගින් වැය කළ අලුත්වැඩියාවන් ද Bවර්ගයේ පාසල් 592ක මිලියන 5 බැගින් වැය කළ අලුත්වැඩියාවන් ද C වර්ගයේ පාසල් 134 ක මිලියන 5 බැගින් වැය කළ අලුත්වැඩියාවන් ද ප්‍රාථමික පාසල් 2,131 ක අලුත්වැඩියාවන් ද සිදු කර අවසානය. ඒ සමගම ගුරු නිල නිවාස 141 ක ද විදුහල්පති නිල නිවාස 34 ක ද ඉදිකිරීම් අවසන් කර තිබේ. පාසල් 2,606 කට වැසිකිළි පහසුකම් ද, පාසල් 344 කට ජල පහසුකම් ද, පාසල් 1,469 කට විදුලිබල පහසුකම් ලබා දීම ද සම්පූර්ණ කර තිබේ. පාසල් ආපනශාලා 05 ක්, නව දන්ත ශල්‍යාගාර 7 ක් සහ දන්ත ශල්‍යාගාර 65 ක් අලුත්වැඩියා කිරීම් ද මේ වන විට නිම කර තිබේ. මීට අමතරව, වතු පාසල්වල නව ඉදිකිරීම් 2 ක් අවසන් කර ඇති අතර, වතු පාසල් 7 ක අලුත්වැඩියා කටයුතු ද අවසන් කර තිබේ.

    නගරයට පමණක් කේන්ද්‍ර වී තිබූ භෞතික සහ මානව සම්පත් ගම්බද පාසල්වලට ද ලබා දෙමින් නිදහස් අධ්‍යාපනයේ සැබෑ අර්ථය ප්‍රායෝගික තලයෙහි ක්‍රියාත්මක කිරීම සඳහා ළගම පාසල හොඳම පාසල වැඩසටහන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව 2016 වසරේ මැයි මස ආරම්භ කරනු ලැබීය. 2016-2020 කාලය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩසටහන වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ආයෝජනය කරන මුදල රුපියල් බිලියන 64 කි. මේ යටතේ ලංකාවේ පාසල් 9,345ක් ප්‍රධාන ව්‍යාපෘති 18,654ක් හරහා සංවර්ධන කිරීමට සැලසුම් කර තිබේ.

    ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අමාත්‍යවරයා පැවසුවේ කලාප මට්ටමින් නිලධාරීන් විසින් පාසල්වල නිවැරදි සංවර්ධන අවශ්‍යතා හඳුනාගැනීම සිදුකළ යුතු බවයි. එහිදී රටේ සෑම දරුවෙකුට ම අධ්‍යාපනයේ සමාන ඉඩප්‍රස්ථා සලසාදීම වෙනුවෙන් සමස්ත පාසල් පද්ධතිය තුළ සම්පත් බෙදීයාමේ විෂමතා ඇති නොවන ලෙස කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    සියලු සංවර්ධන කාර්යයන්හි ප්‍රමිතිය, කල්පැවැත්ම සහ ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පවත්වාගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් බව ද අවධාරණය කළ අධ්‍යාපන අමාත්‍යවරයා, එම කටයුතු නිරන්තර අධීක්ෂණයට ලක් කළ යුතු බව ද අවධාරණය කළේය.

    මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතා සහ අධ්‍යාපන ලේකම්වරයා, අධ්‍යාපන රාජ්‍ය ලේකම්වරයා, අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පළාත් අධ්‍යාපන නිලධාරීන් රැසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya