ජීවිතයේ බෙහෙවින්ම දුෂ්කර තැනකින් පටන්ගෙන රටේ ඉහළම තැනට ගිය චරිත අතර ප්‍රමුඛතම සහ සුවිශේෂීම චරිතය හිමි වනුයේ ප්‍රේමදාස ජනාධිපතිවරයාට යන්න ප්‍රශ්න විරහිතය. බිංදුවෙන් පටන්ගෙන ඉහළටම යා හැකි බව වර්තමාන,අනාගත පරපුරට ක්‍රියාවෙන් ඔප්පු කළ පළමුවැනි රාජ්‍ය නායකයා ඔහුය.
සමාජ අසාධාරණයට එරෙහිව සාධාරණත්වය වෙනුවෙන් නොබියව කතා කළ ඔහු පොදු මහත් දුක්විඳින ජනතාවගේ නායකයකු ලෙස පෙරට ආවේ ප්‍රායෝගිකවම ඒ වෙනුවෙන් ඇප කැප වෙමිනි. 1950 වර්ෂයේදී සන්තබස්තියම නාගරික මන්ත්‍රීවරයා ලෙස ප්‍රථම වරට කොළඹ මහ නගර සභාවේ අසුන් ගත් එතුමා,පියවරෙන් පියවර රටේ මුල් පුටුව කරා පැමිණි ගමන දුක් කම්කටොලු,කැපකිරීම් සහ ඉවසීම ප්‍රගුණකොට ආ ගමනකි. ජයග්‍රහණයෙන් උඩඟු නොවන්නටත්, පරාජයෙන් පසුබට නොවන්න තරම් ආත්ම ශක්තියක් තවත් නැත යන්න එතුමා ක්‍රියාවෙන් ඔප්පු කළ අතර එය තම ජීවන දර්ශනය බවටද පත්කර ගත්තේය.
තම විවේකය පිළිබඳව නොසලකා හරිමින් සෑම මොහොතක්ම ‘වැඩ කිරීම’උදෙසා ම වෙන් කළ හෙතෙම සියලු කාරනා සම්බන්ධව පුලුල් දැක්මකින් සහ විචක්ෂණ හැඟීමකින් යුක්තව කටයුතු කළේ ලාභ සන්තානයකින් තොරවය.
ජනතාවගේ හද ගැස්ම මනාව හදුනාගත් සැබෑ දේශපාලඥයෙකු වූ ප්‍රේමදාස මහතා දක්ෂ ශූර සංවිධායක වරයෙකු විය. එක්සත් ජාතික පක්ෂය දේශපාලන වශයෙන් ඇදවැටුණු අවස්ථාවලදී පරිණත නායකයෙකු ලෙස ප්‍රේමදාස මහතා ජේ ආර් ජයවර්ධන මහතා සමඟ එක්ව පක්ෂය ගොඩනැංවීමට කැප වුණේ ‘පරාජයේදී’නොසැලෙන ගුණය මනාව විදහා පාමිනි.
පරාජයේදී ඉවසිලිමත්ව කටයුතු කිරීමත්,ශක්තිමත්ව එය ජයග්‍රහණයක් බවට පරිවර්ථනය කරගැනීමත් ඔහුගෙන් දකින්නට ලැබුණු විශිෂ්ඨතම ගුනාංගයක් විය. දේශපාලන ජීවිතයේදි තමන් වෙත පැමිණි සියලු අභියෝග ඔහු ස්වකීය පරිණත දේශපාලන විඥානයෙන් මනාව කලමණාකරණය කරගත්තේය. දේශපාලනයේදී ඔහු හැම විටම තෝරා ගත්තේ විදුලි සෝපානයෙන් යන ගමන වෙනුවට තම ශක්තිය මතින් යන ගමනය.
දශක හතරකට ආසන්න කාලයක් දේශපාලනයෙහි නියෑළුනු ඔහු තරම් බාධක කම්කටොලුවලට මුහුණ දුන් වෙනත් නායකයෙක් සමකාලීන දේශපාලනය තුළ සොයා ගැනීම පවා උගහට ය. ඇතැම් අවස්ථාවලදී තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් වඩා ඔහු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හොඳ හිත දිනා ගත්තේය. ඒ තරමටම පක්ෂ විපක්ෂ දෙපාර්ශවය තුළම ඔහු ජනප්‍රිය දේශපාලඥයෙකු විය.
නිවාස ලක්ෂ ගණනක් ඉදිකර, ටවර් හෝල් රඟහල ජාතිය සතුකොට, දුප්පත් කලාකරුවාට විශ්‍රාම වැටුපක් ලබා දී, වගුරු බිම් සංවර්ධනය කොට, නොදියුණු ගම් දියුණු කර,දරුවන්ට නොමිලේ නිල ඇඳුම් ලබා දී,දිවා ආහාරය ලබා දී,දුප්පත් කම තුරන් කරන්නට ‘ජනසවිය’ නැමැති මහා ව්‍යාපෘතිය අරඹමින් ඔහු පොදු ජන සුබසෙත සැලසුවේය. එතුමා ආරම්භ කළ එම විවිධ ජාතික ව්‍යාපෘති එදා මෙන් අදත් ජනතා ආකර්ෂණය ඉහළින් දිනාගෙන තිබේ.
රණසිංහ ප්‍රේමදාස මහතා රටේ ජනාධිපතිවරයාව සිටි කාලය තුළ සමාජයෙන් නැඟුණු අපවාද බොහෝය. ‘මාව ඝාතනය කරන්න… මගේ චරිතය ඝාතනය කරන්න එපා… ඔහු අවසානයේ කීවේ එකී අපවාද දරාගන්නට බැරිම තැනය.’සත්‍යය කවදා හෝ ජය ගනී’ යනුවෙන් පවසමින් එතුමා සිය අවසන් කතාව නිමා කළේය. ඊට පසුදා, එනම් 1993 මැයි මස 1 වැනි දින මේ රටේ ජනතාව සෝ සයුරේ ගිල්වා එතුමා අභාවප්‍රාප්ත විය. ශාරීරිකව අප අතර නොමැති වුවද මේ රටේ පොදු මහ ජනතාව අදත් එතුමන්ව සිහිපත් කරනුයේ ඔහු සිදුකළ සුවිසල් කාර්යභාරය අති මහත් වන බැවිනි.