සීගිරිය උතුරු දිය අගලේ ඇති ජ්‍යාමිතික හැඩය හඳුනාගැනීම හා දිය අගල නිර්මාණය කිරීමේ දී භාවිතා කර ඇති තාක්ෂණික ක‍්‍රමවේදයන් හඳුනා ගැනීමේ අරමුණින් සිදු කළ කැණීම්වල දී මෙම සිංහ රූපය ඇතුළු පුරා වස්තු හමු වී තිබේ. ඒ අතර සිංහ රූපයට අමතරව පබළු, යකඩ, පුරාවස්තු, ටෙරාකොටා මැටි බඳුන් ඇතුළු පුරාවස්තූන් රැසක් ද වේ.
අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසන්නේ, සියවස් ගණනාවක් පුරා සීගිරියේ සිංහ රුව සම්බන්ධව විවිධ අනුමාන පැවතියත් උතුරු දිය අගලේ තිබී හමු වූ මෙම කුඩා සිංහ රුපයත් සමඟ සිංහපාදයට ඉහළින් තිබූ සිංහ රූපයේ ස්වරූපය හා වාස්තු විද්‍යාත්මක ගෘහ නිර්මාණ ශිල්පය ගැන ස්ථිර අදහසක් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබෙන බවයි.
ඒ අනුව දැනට සීගිරියේ සිංහපාද කොටස පමණක් ඉතිරිව තිබුණ ද සීගිරියේ සිංහ රුව කිසියම් මැටි මිශ‍්‍රණයක් යොදා සකස් කර ඇති බවත් මෙලෙස හමු වූ ටෙරාකොටා වලින් සකස් කර ඇති කුඩා සිංහ රුව එහි අනුරුවක් වන්නට ඇතැයි අනුමාන කළ හැකි බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි. කැනීම්වලදී හමු වූ මෙම අනුරුව සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට සිහිවටනයක් ලෙස ලබා දෙන්නට ඇති බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි.
කැනීම තුළින් හමු වී ඇති මැටි බඳුන් විදේශීය සම්භවයක් සහිත බැවින් සීගිරි කාශ්‍යප රජ සමයේ දී පැවති ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබිඹු වන බවත් විශේෂයෙන් රෝමය හා මධ්‍යම ආසියාතික රටවල් සමඟ දියුණු වෙළඳ සබඳතාවක් පැවති බව මෙම පුරාවස්තු මගින් පැහැදිලි වන බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසයි.
රටේ අභිමානය සහ පෞරාණිකත්වය විදහා දක්වන අතීත උරුමයන් ගවේෂණය කර මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීමේ කටයුතු විධිමත්ව හා කාර්යක්ෂම ව පවත්වාගෙන යාම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල සතු අරමුදල් හා විශේෂඥ සහාය ලබාගන්නා ලෙසත් මෙවැනි ගවේෂණ සඳහා දිරිගැන්වීම ලබා දෙමින් එම කටයුතු සාර්ථක කිරීමට පියවර ගන්නා ලෙසත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබා දී තිබේ.
මෙම කැණීම් කටයුතු තවදුරටත් ඉදිරියට සිදු කෙරෙමින් පවතින අතර, එමගින් සීගිරිය පිළිබඳ තොරතුරු රැසක් ඉදිරි පර්යේෂණවලදී හඳුනාගැනීමට අපේක්ෂිතයි.