මෙම ඉගෙනුම් ද්‍රව්‍ය කට්ටලය දොරට වැඩීම අද (15) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් මීපේ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත් වේ.
1997 වසරේ ප්‍රාථමික අධ්‍යාපන නවීකරණයේ දී හඳුන්වාදුන්, ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි විෂය පාසල්වල ක්‍රියාත්මක කිරීම සඳහා මෙතෙක් ඉගෙනුම් සම්පත් මූලාශ්‍ර අධ්‍යාපන පද්ධතිය වෙත හඳුන්වා දී නොතිබුණු අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් සහ මෙහෙයවීම මත ජාතික අධ්‍යාපන ආයතනය විසින් පාසල්වල ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම පොත් කට්ටලය සහ සංයුක්ත තැටි නිෂ්පාදනය කොට තිබේ.
ඒ අනුව, දිවයිනේ ප්‍රාථමික ශ්‍රේණි සහිත සෑම පාසලක ම 2018 වසරේ සිට 1 සහ 02 ශ්‍රේණි සඳහා මෙම පොත් කට්ටලය සහ සංයුක්ත තැටි භාවිතයට අවස්ථාව සැලසීමට නියමිතයි. ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ගේ භාවිතයට ගැළපෙන ඉංග්‍රීසි ළමා ගීත පොත් 2ක්, ඉංග්‍රීසි කතාන්දර පොත් 10ක්, සංයුක්ත තැටි 3ක්, සහ ගුරුවරුන් සදහා වන ගුරු අත් පොතක් මෙම ඉගෙනුම් ද්‍රව්‍ය කට්ටලයට ඇතුළත් වේ. මෙම පොත් සහ සංයුක්ත තැටි භාවිතය සම්බන්ධ ව ගුරු උපදේශකවරුන් දැනුවත් කිරීම සහ ඔවුන් මගින් ප්‍රාථමික ගුරුවරුන් දැනුවත් කිරීමට ද කටයුතු යොදා තිබෙන අතර, මීට අමතර ව දකුණු ආසියානු කලාපීය ගුරු සංවර්ධන මධ්‍යස්ථානය සඳහා අභිනවයෙන් ගොඩනැගෙන නේවාසිකාගාරයට මුල්ගල තැබීම ද අද අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි.