නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රොහින්ගයා පිළිබඳ අසත්‍ය ප්‍රචාර සමාජය නොමඟ යැවීමක්

    සැප්තැම්බර් 29, 2017

    මියන්මාරය තුළ පැනනැඟී ඇති අභ්‍යන්තර දේශපාලන තත්ත්වය මඟින් නිර්මාණය වී ඇති රොහින්ග්‍යා සරණාගතයන් පිළිබඳ අර්බුදය යොදාගනිමින් මෙරට පටු දේශපාලනික අරමුණු සහිත පුද්ගලයින් හා සංවිධාන විසින් මෙරට ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට තර්ජනයක් වෙමින්, අසත්‍ය ප්‍රචාර හරහා සමාජය නොමඟ යැවීමට උත්සහ දරමින් සිටින බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.


    ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (UNHCR) වෙත නිල වශයෙන් බාර දී සිටි රොහින්ගයා සරණාගතයින් පිරිසක් එම කාර්යාලයේ රැඳවුම් භාරයේ රත්මලාන ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටියදී පසුගිය 26 වන දින සිදුකළ එම නීතිවිරෝධී ක්‍රියාව පිළිබඳ කණගාටුව පළකළ යුතුය. මෙම සිදුවීමෙන් පොලිස් නිළධාරීන් තුන්දෙනෙකුට (03) ද, තුවාල සිදුවී තිබේ. මෙම කළහකාරී සිදුවීමෙන් අනතුරුව එම රොහින්ගයා වැසියන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ ඉල්ලීම මත බුස්ස ප්‍රදේශයේ රැඳවුම් කඳවුරකට යොමුකිරීමට කටයුතු යොදා තිබෙන බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    ශ්‍රී ලංකා මුහුඳු සීමාවේදී අත්අඩංගුවට ගත් මෙම රොහින්ග්‍යා සරණාගතයින් පිළිබඳව කටයුතු කිරීමේදී රජය පිළිගත් නීති රාමුවෙන් හෝ නිසි ක්‍රියාපරිපාටියෙන් බැහැරව ක්‍රියාකොට නොමැත. රට තුළට හෝ මෙරට මුහුඳු සීමාවට පැමිණෙන විදේශිකයන්ට එරෙහිව 1948 අංක 20 දරන ආගමන හා විගමන පනතේ 10 වන වගන්තියෙන් සපයා ඇති ආගමන හා විගමන නීති උල්ලංඝනය කිරීම යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත. එහි 45 (1) ඡේදය අනුව එවැනි වැරැදිකරුවන්ට අදාළ දඬුවම් පනවනු ලැබේ.

    ඒ අනුව, දැනට මෙරට රැඳීසිටින රොහින්ග්‍යා සරණාගතයින් තිස්දෙනා සම්බන්ධයෙන් ද, මෙරට ආගමන හා විගමන නීති රාමුවට අනුකූල වන ලෙස නීත්‍යානුකූලව ක්‍රියාකර ඇත.

    සරණාගතයින් ලෙස වසර හතරක් (4) ඉන්දියාවේ ජීවත්වීමෙන් අනතුරුව මෙම වසරේ (2017) අප්‍රේල් මස 30 වන දින නීතිවිරෝධිව ශ්‍රී ලංකා මුහුඳු සීමාවට ඇතුල් වූ රොහින්ග්‍යා සරණාගතයින් තිස්දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් යාපනේ මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම අධිකරණය මඟින් ලබාදුන් රඳවා තැබීමේ නියෝගයක් මත (B/372/17) ඔවුන් යාපනේ බන්ධනාගාරයට යොමුකර ඇති අතර 2017 මැයි මස 03 වන දින බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට බාරදී ඇත. ඉන් පසු  ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් පිළිගත් ක්‍රමවේදය අනුව ඉහත රොහින්ග්‍යා වැසියන් එම දෙපාර්තමේන්තුවට අයත් මිරිහානේ පිහිටි අනවසර සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවනු ලැබ තිබේ.

    ඒ අතර, මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය මඟින් එම රොහින්ග්‍යා වැසියන් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් ලබාගත් උපදෙස් මත 2017 අගෝස්තු මස 08 වන දින ඔවුන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත බාරදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. ඒ අනුව එම දෙපාර්තමේන්තුව විසින් 2017 අගෝස්තු 11 වන දින රොහින්ග්‍යා වැසියන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට බාරදීමට කටයුතු කර ඇත. දැනට එම කොමසාරිස් කාර්යාලය භාරයේ සිටින රොහින්ග්‍යා සරණාගතයින් තිස්දෙනා (30) එම සංවිධානය විසින් ළඟදීම වෙනත් රටකට යැවීමට කටයුතු සම්පාදනය කරමින් තිබේ.

    රොහින්ග්‍යා සරණාගතයින් මෙරටට පැමිණ ඇත්තේ මෙම අවස්ථාවේ පමණක් නොවේ. මීට පෙර අවස්ථා කීපයකදී ද, මියන්මාරයේ  රොහින්ග්‍යා සරණාගතයින් මෙරටට පැමිණ ඇති අතර ඔවුන්ද, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය හරහා වෙනත් රටවලට යැවීමට කටයුතු කර ඇත. 2008 මාර්තු මස 03 වන දින  රොහින්ග්‍යා සරණාගතයින් පනස් පස් දෙනකු (55) ශ්‍රී ලංකාවේ මුහුඳු සීමාවේදී නාවික හමුදාව විසින් බේරාගනු ලදුව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත භාර දී තිබේ. එම සරණාගතයින් 2012 වසරේ ජූලි මාසයේ දී දිවයිනෙන් බැහැරව ගොස් ඇත. 2013 වසරේ පෙබරවාරි මාසයේදී බෝට්ටු දෙකකින් පැමිණි තවත්  රොහින්ග්‍යා සරණාගතයින් එකසිය පස් දෙනකු (105) නාවික හමුදාව විසින් බේරාගෙන එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත භාරදීමෙන් පසු ඔවුන් 2015 නොවැම්බර් මාසයේදී දිවයිනෙන් බැහැරව ගොස් තිබේ.

    රොහින්ග්‍යා සරණාගතයින් පිළිබඳ මෙම කළහකාරි සිද්ධිය පිළිබඳව ගල්කිස්ස පොලීසිය විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියට වාර්තා කර ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් තුනක් (03) යොදවා තිබේ.

    මීට පෙර  රොහින්ග්‍යා සරණාගතයන් පැමිණි අවස්ථාවලදී මෙවැනි විරෝධයක් දැක්වීමට මෙරට කිසිඳු සංවිධානයක් කටයුතු නොකිරීමෙන් හා මෙවර අනපේක්ෂිත ලෙස එවැනි විරෝධතා දැක්වීමට හේතුව විවිධ දේශපාලනික සංවිධානවල පටු දේශපාලනික අරමුණු මුදුන්පමුණුවා ගැනීමට උත්සහ ගැනීම බව පැහැදිලි  වනු ඇත.

    සරණාගතයන් පිළිබඳ මෙම ගැටළුවේදී රජය සැමවිටම පවතින නීති රාමුවෙන් හෝ නිසි ක්‍රියාපරිපටියෙන් බැහැරව කටයුතු නොකරන අතර කිසිඳු සරණාගතයකුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හෝ නේවාසික වීසා ලබාදීමට තීරණය කර නොමැත.

    එමනිසා, විවිධ පුද්ගලයින් හා සංවිධාන විසින් ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට තර්ජනයක් වෙමින්, පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා සිදුකරනු ලබන මෙවැනි අසත්‍ය හා සමාජය නොමඟ යවන සුළු ක්‍රියාවලට නොරැවැටි බුද්ධිමත්ව හා විචාරශීලිව කටයුතු කරන ලෙස සැම පුරවැසියෙකුගෙන්ම එම අමාත්‍යාංශය ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya