සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 12කට පසු පළමු විශාලතම බහුදින ධීවර යාත්‍රාව නිපදවයි

    අප්‍රේල් 07, 2017

    වසර 12කට පසු සී නෝර් පදනම විසින් පළමු වරට නිපදවන ලද අඩි 60ක දිගින් යුත් බහු දින ධීවර යාත්‍රාව ඊයේ (06) දියත් කරනු ලැබීය.

    මේ වනවිට අප රටේ බහුදින ධීවර යාත්‍රා 1480කට ආසන්න ප්‍රමාණයක් ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමේ යෙදී සිටියද, ඒවායේ පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා අල්ලා ගන්නා ලද මසුන්ගෙන් සියයට 40ක් පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වේ.

    විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළට මසුන් අපනයනය කිරීමේ දී ගුණාත්මක බවින් ඉහළ මසුන් සඳහා වැඩි ඉල්ලුමක් පවතී. වර්තමානය තුළ සමස්ත මත්ස්‍ය ඉල්ලුමෙන් අප රට විසින් සපයන්නේ සියයට 30ක් වැනි සුළු ප්‍රමාණයකි. එමනිසා නව තාක්ෂණික උපකරණ හා පහසුකම් සහිත බහුදින ධීවර යාත්‍රා සහන පදනමක් යටතේ ලාංකික ධීවර ප්‍රජාවට ලබාදීම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට රජය එකගත්වය පළ කරන ලදී.

    එහි ප්‍රතිඵලයක් වශයෙන් අඩි 55ට වඩා විශාල බහු දින ධීවර යාත්‍රා නිපදවීම සී - නෝර් පදනම විසින් ආරම්භ කරන ලද අතර එවැනි බහු දින ධීවර යාත්‍රා 10ක් 2017, 2018  වසර දෙක තුළ ඉදි කිරීමට නියමිතය.  රුපියල් මිලියන 60ක් වන මෙම ධීවර යාත්‍රාවක් සදහා ධීවර ප්‍රජාව විසින් ගෙවිය යුත්තේ ඉන් සියයට 50ක් පමණි. ඉතිරි සියයට 50 රජය විසින් දරයි.

    මෙම බහුදින ධීවර යාත්‍රාවල ශීත කාමර පහසුකම් මෙන්ම වැඩි මසුන් ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීමට පහසුකම් ඇති අතර, මසුන් ඇල්ලීමේ දී මරු වැල් හෙවත් ලොන්ග් ලයින් නැමැති නව ක්‍රමය හඳුන්වා දී තිබේ.

    මෙම ක්‍රමයෙන්  මසුන් කිසිදු හානියකින් තොරව අල්ලා ගත හැකිය. එමනිසා පසු අස්වනු නාස්තිය අවම කර ගත හැකි පරිදි මෙම නව ධීවර යාත්‍රා සකස් කර තිබේ. මේ අතර මෙම වැඩ පිළිවෙළ යටතේ වැඩි දියුණු කළ හා අමතර නවීන පහසුකම්වලින් සමන්විත තවත් බහුදින ධීවර යාත්‍රාවක් නිපදවීමේ කටයුතුද ඊයේ  සී - නෝර් පදනම විසින් ආරම්භ කරනු ලැබීය. එමෙන්ම සී ෂෙල්ස් රජය විසින් ද එම රටට විශාල ප්‍රමාණයේ නවීන බහුදින ධීවර යාත්‍රා 05ක් සඳහා මෙම වසරේ දී ඇණවුම් ලබා දී තිබේ. ඒවා නිපදවීම ද මේ වනවිට ආරම්භ කර තිබේ.

    මෙම බහුදින ධීවර යාත්‍රාව දියඹට මුදා හැරීමේ අවස්ථාවට සහභාගිවෙමින් ඇමැතිවරයා කියා සිටියේ අප රට නිෂ්පාදන හා අපනයන ආර්ථිකයක් ගොඩ නගන්නේ නැතිව සංවර්ධනය කිරීම අසීරු කටයුත්තක් බවයි. විහේෂයෙන් මීට දශකයකට පෙර ලෝක මත්ස්‍ය වෙළෙදපොලේ මිල තීරණය කළේ ශ්‍රී ලංකාවයි. පසුගිය කාලයේ කිසිදු රජයක් ධීවර කර්මාන්තය සංවර්ධනයට පියවර නොගැනීම නිසා දැන් එම බලය මාලදිවයිනට ගොස් ඇත. ඉදිරි කලය තුළ නැවතත් එම හැකියාව අප සතු කර ගැනීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා කීය. විශේෂයෙන්ම අප රටේ මත්ස්‍ය නිෂ්පාදන සදහා ජාත්‍යන්තර වෙළෙදපොලේ ඉහළ ඉල්ලුමක් පවතින නිසා මසුන් අපනයනය ඉළක්ක කර ගනිමින් එම කටයුතු ආරම්භ කර තිබෙන බව කීය.


    වර්තමාන රජයේ ඉළක්කය ඉදිරි වසර තුන තුළ නව රැකියා අවස්ථා ලක්ෂ 10ක් නිර්මාණය කිරීමයි. ඒ යටතේ ධීවර අමාත්‍යංශය විසින් අනිවාර්යෙන්ම ඉදිරි වසර දෙක තුළ රැකියා අවස්ථා ලක්ෂයක් නිර්මාණය කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    පසුගිය කාලයේ සී නෝර් ආයතනය රාජ්‍ය ආයතනයක් වශයෙන් තිබුනේ පහළ මට්ටමකයි. නමුත් දැන් ස්ථිර තැන්පතුවක් සහිත රාජ්‍ය ආයතනයක් වශයෙන් ඉතාමත් ලාභ ලබන තත්ත්වයට වත්මන් රජය විසින් එම ආයතනය පත් කර ඇත. අපේ සෙසු රාජ්‍ය ආයතනත් ඉතා හොඳ තත්ත්වයට පත් කර ගැනීම දක්ෂ කළමනාකාරිත්වයක් යටතේ අපහසු නොවන බව ද අමාත්‍යවරයා කීය.

    මෙම අවස්ථාවට එම ආයතනයේ සභාපති ජගත් පෙරේරා  මහතා ඇතුලු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya