සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවිආයුධ වලින් තොර විප්ලවයක ඇරඹුමක්

    මාර්තු 30, 2017

    අවිආයුධ වලින් තොර විප්ලවයක ඇරඹුම තිරසර ලංකා ජාතික මංගල්‍ය හරහා ඇරඹේන බව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියෝ පවසති.

    ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියෝ මේ බව පැවසුවේ, අද (30) පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකට එක් වෙමිනි.


    මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් තවදුරටත් පැවසුවේ, මෙම විප්ලවීය අරගලය වෙන කිසිවක් අරඹයා නොවන බවත්,  මානව සංහතියේ පැවැත්ම වෙනුවෙන්, මිහිතලය ආරක්ෂා කිරීම වෙනුවෙන් ම බවත් ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ තිරසර  සංවර්ධන ප්‍රඥප්තිය සකස් කර ඇති බව පෙන්වා දුන් රතන හිමියෝ තවදුරටත් පැවසුවේ, මේ ප්‍රඥප්තිය ඔස්සේ ලෝකයේ සියලු ම පුද්ගලයින්ගේ පවත්නා සිතුවිලි වෙනස් කරමින් මිහිතලය ආරක්ෂා කිරීමට බල ගැන්වීමක් සිදු කරන බවයි.  මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  මුලික අරමුණ වී ඇත්තේ ලෝකයේ පවත්නා ඇති නැති පරතය තුරන් කරමින් සමාන අවස්ථා සියලු ලෝකවාසීන්ට සමසේ භුක්ති විදීමට අවස්ථාව සලසා දීමයි.  මේ වෙනුවෙන්  ලෝකයේ සියලු ම රටවල් හැඩ ගැසෙන මොහොතක ශ්‍රී ලංකාව ද මේ හා සමඟාමී ව යමින් තිරිසර සංවර්ධන අවස්තා අත්පත් කර ගත යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමියන් එහිදී පෙන්වා දුන්නේ ය.


    ඒ අනුව වස විස නැති රටක් යන තේමාව පදනම් කර ගනිමින්  තුන් අවුරුදු සැලැස්මට සමඟාමී ව පවත්වනු ලබන තිරසර ලංකා ජාතික අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය හෙට ( 31) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඇරඹේ.


    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 9.00ට ආරම්භ කෙරෙන ප්‍රදර්ශනය ලබන මස (04) වනදා දක්වා පැවැත්වේ. අවසන් දින ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහභාගී වීමට නියමිත වේ.


    ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන මෙම තිරසර ලංකා ජාතික මංගල්‍ය  - 2017  ට සමඟාමීව පැවැත්වෙන ප්‍රදර්ශනය දින පහක් පුරාම පෙ.ව. 9.00 සිට රාත්‍රී 10.00 දක්වා  පැවැත්වේ.  ප්‍රදර්ශන දිනයන් විවිධ තේමා යටතේ සංවිධානය කර ඇත. ඒ අනුව පළමු දින හෙට (31) යහපත් දිවියක් ද අප්‍රේල් මස (01) දින තිරසර ජීවනෝපායක් ද අප්‍රේල් මස  (02) වන දින සොබාදහමට ඉඩක් ද  අප්‍රේල් මස (03) වන දින හොද අත්තිවාරමක් ද අප්‍රේල් මස (04) වන දින යහපත් සමාජයක් ලෙසින් ද මෙම  දිනයන් වෙන් කර ඇත. 


    සියලු ම රාජ්‍ය අමාත්‍යාංශ සහ ඒ යටතේ ඇති ආයතන, ප්‍රධාන පෙළේ ව්‍යාපාර ආයතන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආයතන රැසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිත වේ. ප්‍රදර්ශන කුටි දහසක් වෙළෙඳ ප්‍රදර්ශන භූමියේ  ඉදිකෙරෙන අතර, මේවා හරහා ජනතාවට වස විසෙන් තොර ආහාරපාන පහසු මිලට ලබාගැනීමට පහසුකම් සලසා ඇත.


    මුදල් ගෙවීමකින් තොරව ප්‍රදර්ශන භූමියට නොමිලේ ඇතුල් වීමට මෙහිදි අවස්ථාව සලසා ඇත.  වෙළෙඳ ප්‍රදර්ශන කුටිවලට සමඟාමී ව මහජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් ප්‍රවීණ දේශකයන්, විද්වතුන්ගේ සහභාගීත්වයෙන්  වැඩමුළු සහ සැසි රැසක් පැවැත්වීමට ද ජනතාව දැනුම්වත් කිරීම වෙනුවෙන් කෙටි චිත්‍රපට රැසක් ප්‍රදර්ශනය කිරීමට ද මෙහිදී කටයුතු යොදා ඇත.


    මෙවර ප්‍රදර්ශනය නැරඹීම සඳහා මිලියනයකට අධික ජනතාවක් සහභාගි වනු ඇති බව සංවිධායක මණ්ඩලය එහිදී  විශ්වාසය පළ කළේය.


    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ, උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන, ජනාධිපති අතිරේක ලේකම් ජයන්ත විජේරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya