නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් ඇමති රේගුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි

    මාර්තු 23, 2017

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු සොයා බැලීම සඳහා පසුගිය (21) මධ්‍යම රාත්‍රියේ හදිසි එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව මෙසේ අමාත්‍යවරයා මුලින් ම ගමන් ගත්තේරේගුවේ ඔරුගොඩවත්ත බහාලුම් අංගන දෙක වෙත ය. අනතුරුව රේගු මූලස්ථානය ද ඔහු නිරීක්ෂණය කළේ ය.

    රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු මන්දගාමීව සිදු වන බවට භාණ්ඩ ආනයන ආයතන මගින් දිගින් දිගට ම ලැබී ඇති පැමිණිලි අමාත්‍යවරයාගේ හදිසි රේගු සංචාරයට හේතු වී තිබිණි. තව ද විසි හතර පැය පුරා රේගු කටයුතු ක්‍රමවත්ව සිදු වන්නේ ද යන්න සොයා බැලීම ද මෙම සංචාරයේ අරමුණ වී තිබිණි.

    අමාත්‍යවරයා හිටි හැටියේ බහාලුම් අංගනය වෙත පැමිණීම රේගු නිලධාරීන්ගේ විමතියට හේතුවක් විය. එමෙන් ම බහාලුම් නිදහස් කරගෙන යාමට පැමිණි ආනයනකරුවන්ගේ නියෝජිතයන් සමග ද අමාත්‍යවරයා සුහද කතාබහක නිරත වූ අතර එහි දී අමාත්‍යවරයා කියා සිටියේ රේගු කටයුතුවල දී කිසියම් ප්‍රමාදයක් වන්නේ නම් ඒ පිළිබඳ තමා දැනුවත් කරන ලෙසයි. රේගු කටයුතුවල දී නිලධාරීන්ට ඇතිවන ගැටලු පිළිබඳව ද අමාත්‍යවරයා එහි දී සාකච්ඡා කළේ ය. විශේෂයෙන් ම භාණ්ඩ මුදා හැරීම සඳහා හඳුන්වා දී ඇති මාර්ග ගත ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහි දී අමාත්‍යවරයා සොයා බැලීය.

     

    බහාලුමක් වරායට පැමිණි අවස්ථාවේ සිට එය අදාළ ආනයනකරු වෙත මුදා හරින තෙක් සිදු වන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කරුණු විමසා බැලූ අමාත්‍යවරයා පසුගිය දා ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබූ නීති විරෝධී ලෙස, දුම්වැටි ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද විමසා සිටියේ ය.

    අදාළ සිද්ධිය සඳහා ඇතැම් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබුණ ද එම බහලුම විවෘත කිරීමෙන් පසු එහි ඇතුළත්ව තිබුණෙ ගෘහ උපකරණ පමණක් බවයි රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතා එහි දී අමාත්‍යවරයා වෙත පවසා සිටියේ ය.

     

    අමාත්‍යවරයා ඉන් අනතුරුව ගමන් ගත්තේ රේගු මූලස්ථානය වෙතයි. එහි දී රාත්‍රී සේවා මුරවල යෙදී සිටින නිලධාරීන් සමග සාකච්ඡා කළ අමාත්‍යවරයා ඔවුන්ගේ සේවය අගය කළේ ය.

    නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා.

    “ආනයනකරුවන්ගේ පැත්තෙන් අපට දැන ගන්නට ලැබුණ රේගු ක්‍රියාවලිය තුළ කිසියම් මන්දගාමී තත්ත්වයක් සිදු වෙලා තියෙනවා කියල. ඒ අනුව තමයි අපි මේ කටයුතු සිදු
    වෙන ආකාරය නිසි පරිදි නිරීක්ෂණය කරන්න මේ වගේ වේලාවක ආවෙ. ඉතා ම හොඳින්මේ කටයුතු සිදු වෙමින් පවතිනව. නමුත් තව දුරටත් යාවත්කාලීන විය යුතුයි. අප වෙන රටවල් දිහා බැලුව ම පැය 24 පුරාම ආනයන අපනයන කටයුතු සිදු වෙන ආකාරය දක්නට පුළුවන්. අපි එම කටයුතු යම් ප්‍රමාණයකට කරගෙන ගියත් වාප්පු ලිපිකරුවන්ගේ පවතින යම් යම් ගැටලු හේතුවෙන් තවමත් අපේක්ෂා කළ ප්‍රමාණයෙන් එම කටයුතු සිදු නොවන අකාරයක් දකින්නට පුළුවන්.” යැයි ද අමාත්‍යවරයා කියා සිටියේ ය.

    රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතා අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැය 24 පුරා සිදු කරන මෙහෙවර අගය
    කළ යුතු බවයි.

    විෂය භාර අමාත්‍යවරයාගේ මෙම පැමිණීම ඔවුන්ගේ කටයුතු අගය කිරීමට ගත් උත්සහක් බව ද හෙතෙම පැවැසීය. එමෙන් ම රැයක් දහවලක් නොමැතිව තම වගකීම් අකුරට ම ඉටු කරන මුදල් අමාත්‍යවරයාගේ කැපවීම මෙවැනි නිරීක්ෂණවලින් රටට ම පෙන්නුම් කරන බව ද චූලානන්ද පෙරේරා මහතා කියා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya