අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට තවදුරටත් සහය දෙන බව ලෝක බැංකුව අවධාරණය කරයි

    ජූලි 21, 2016

    ශ්‍රී ලංකාවට තවදුරටත් පූර්ණ සහය දැක්වීමට සූදානම් බව ලෝක බැංකුව අවධාරණය කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

    ශ්‍රී ලංකාව සඳහා පත්ව සිටින නව ලෝක බැංකු අධ්‍යක්ෂවරිය වන   ආචාර්ය අයිඩා ස්වරායි රිඩ්ඩිහවු (Idah Pswarayi Riddihough) මහත්මිය ඊයේ (20)  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමු වී මේ බව සඳහන් කළා ය.


    මෙහි දී රිඩ්ඩිහවු මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාව සාර්ථකව ආර්ථික අභියෝග ජය ගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටින බවයි.

    ලෝක බැංකුව ශ්‍රී ලංකාව වෙනුවෙන් තබා ඇති විශ්වාසනීයභාවය ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට ඉමහත් ශක්තියක් වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

     
    1995 දී ලෝක බැංකු කණ්ඩායමට එක් වූ ඇය සිම්බාබ්වේ ජාතික කාන්තාවකි. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන්, වන විද්‍යාව සහ ජාන විද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධිය හිමි කරගෙන ඇති ඇය කලක් ලෝක බැංකුවේ ආසියානු කලාපීය මෙහෙයුම් අධ්‍යක්ෂවරියක ලෙස ද කටයුතු කළා ය. 

    රිඩ්ඩිහවු මහත්මිය අගෝස්තු මස සිට සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිත ය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ වත්මන් ලෝක බැංකු අධ්‍යක්ෂවරිය වන  ෆ්‍රැන්ක්කොයිස්  ක්ලොට්ස් මහත්මිය සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා ද එක්ව සිටියහ.


    මේ අතර, ශ්‍රී ලංකාවේ ක්‍රමෝපාය නගර   සංවර්ධන  ව්‍යාපෘතිය සඳහා  ලෝක බැංකුව තවත්  අමෙරිකානු ඩොලර් මිලියන 55ක ණය  ආධාරයක්  ඊයේ  ප්‍රදානය කළ අතර  මීට අදාළ ගිවිසුම් අත්සන් තැබීම මුදල්  අමාත්‍යාංශයේ  ලේකම්   ආචාර්ය ආර්.එස්.එච්  සමරතුංග  හා  ශ්‍රී ලංකාවේ  ලෝක බැංකු  අධ්‍යක්ෂ  ෆ්‍රැන්ක්කොයිස්  ක්ලොට්ස් මහත්මිය අතර මුදල් අමාත්‍යාංශයේ දී සිදු විය.

    ක්‍රමෝපාය සංවර්ධන නගර ව්‍යාපෘතිය යටතේ දැනටමත් මහනුවර  හා  ගාල්ල  නගරවල සංවර්ධන කටයුතු සිදු කෙරෙන අතර නව ගිවසුම යටතේ ලබා දෙන ණය ආධාර යාපනය ක්‍රමෝපාය නගර සැලැස්මට ඇතුළත් වේ.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රමෝපාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුව ලබා දී ඇති සමස්ත ණය ආධාර මුදල අමෙරිකානු ඩොලර් මිලියන 202කි.

    මීට පෙර මහනුවර හා ගාල්ල නගර සංවර්ධනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 147ක ණය ආධාර මුදලක් ලෝක බැංකුව ලබා දී තිබේ. ඉතා සුළු පොලී අනුපාත යටතේ මෙම ණය ආධාර ලබා දී ඇති අතර එය දීර්ඝ කාලීන ගෙවීමේ පදනම මත ක්‍රියාත්මක ය.

    ලෝක බැංකුව 2015 වසරේ දී ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 155ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබේ. ඉදිරි වසර කිහිපය සඳහා තවත් අමෙරිකානු ඩොලර් මිලියන 233ක් මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ලෝක බැංකුව එකඟ වී ඇති බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya