අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝනොවන රෝග පාලනයට වැඩපිළිවෙළක්

    ජූලි 20, 2016

    සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත බෝනොවන රෝග පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

    රෝහල්වලට ඇතුලුවන රෝගීන්ගෙන් සියයට 68 ක් බෝනොවන රෝග හේතුවෙන් මිය යන අතර සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වේ.

     

    එහිදී පාසල් පෝෂණ වැඩසටහන ඉන් ප‍්‍රධාන වන අතර ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව වයස අවුරුදු 06-10 දක්වා වයස් සීමාවේ දරුවන් වෙනුවෙන් එය ක්‍රියාත්මක වේ.

     

    දරුවන් සිටින පාසල් 400 කට පෝෂණය පිළිබඳ දැනුම ලබාදීම සඳහා වූ කරුණු ඇතුලත් පොත් ලක්ෂ 10 ක් ඉදිරියේ දී බෙදාදීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සකස් කොට ඇත.

     

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන අතර, පාසල් ආපනශාලා ප‍්‍රතිපත්තිය ද අධීක්ෂණය කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසිනි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් ආපන ශාලාවල අලෙවි කිරීමට යෝජිත ආහාර වර්ග පිළිබඳව චක‍්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කිරීමෙන් පසු මෙම ආපන ශාලා ප‍්‍රතිපත්තිය මේ වන විට ක‍්‍රියාත්මක කෙරේ.

     

    පැණි බීම වර්ග සඳහා රෙගුලාසි ක‍්‍රියාත්මක කිරිම අගෝස්තු මස 01 සිට ක‍්‍රියාත්මක වන අතර ආහාරවල අඩංගු සීනි ප‍්‍රමාණය ජනතාවට දැනගැනීමට හැකිවන පරිදි වර්ණ සංකේත ක‍්‍රියාත්මක වෙයි. එහිදී සීනි ග්‍රෑම් 10 වැඩි නම් රතු වර්ණය  ද, සීනි ග්‍රෑම් 10 හා 02 අතර නම් කහ වර්ණය ද, සීනි ග්‍රෑම් 02 කට අඩු නම් කොළ වර්ණය ද වශයෙන් වර්ණ සංඥා හඳුන්වා දී ඇත. එමෙන්ම රජයේ සියලු රැස්වීම් වලදී ලබාදිය යුතු ආහාරපාන පිළිබඳ උපදෙස් ඇතුළත් චක‍්‍රලේඛයක් නිකුත් කරන ලද්දේ ද බෝනොවන රෝග පාලනය කිරීම සඳහායි.


     
    දුම්කොළ, මධ්‍යසාර මෙන්ම සිරුරට හානිකර සීනි, ලුණු සහ මේදය බහුලව අඩංගු ආහාරවල බදු තවත් වැඩි කළ යුතු බවත්, තමන් පසුගිය වසරේ දී සීනි සඳහා බදු වැඩි කළ යුතු බව ප‍්‍රකාශ කරන විට ඊට විරෝධය මතු වූ බවත්, මේ වනවිට එංගලන්තයේ එය ක‍්‍රියාත්මක කර ඇති බව ද, සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා පැවති විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් සඳහා එක්වෙමින් ප‍්‍රකාශ  කළේය.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මහජනතාවට තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර ගැනිම සඳහා රජයේ වෛද්‍ය ආයතන 842 ක් තුළ සුවදිවි මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට නියමිත බවයි.

    මෙම ඒකක මගින් රුධිරයේ සීනි ප‍්‍රමාණය, කොලෙස්ටරෝල් හා මේද ප‍්‍රමාණය, රුධිර පීඩනය, ශරීර ස්කන්ධ දර්ශකය මගින් අධික රුධිර පීඩනය, හදවත් රෝග, දියවැඩියාව වැනි රෝග තිබේ දැයි පරීක්ෂා කර ගත හැක.

    තවද සුවනාරි සායන 906 ක් පිහිටුවා ඇති අතර එමගින් කාන්තාවන්ට පියයුරු හා ගැබිගෙල පිළිකා කල් ඇතිව හඳුනාගැනීමට හැකිය.

    සෑම දිස්ත‍්‍රික්කයකම එකක් බැගින් රෝග පරීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවීමට සැළසුම් කර තිබෙන අතර ඒ සඳහා සහයෝගය සිංගප්පුරුවෙන් ලැබෙන අතර, මෙම පරීක්ෂණ ඒකකවල දී එම්.ආර්.අයි, සී.ටි ස්කෑනර් පරීක්ෂණ හැර අනෙකුත් සියළුම රෝග පරීක්ෂණ පහසුකම් ලබාදිමට නියමිතය.

    මෙහිදී බලාපොරොත්තු වන්නේ 2020 වනවිට බෝ නොවන රෝග සියයට 10 කින් අඩු කිරීමට සහ 2035 වනවිට බෝනොවන රෝග සියයට 20 කින් අඩු කිරීමට බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya