අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය විශ්වවිද්‍යාලයයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම සාමකාමියි - නි.අමාත්‍ය කරුණාරත්න පරණවිතාන

    ජූලි 19, 2016

    යාපනය සරසවි භූමිය මේ වන විට සම්පූර්ණයෙන්ම සාමකාමී බවත් එහි සියලු අධ්‍යයන කටයුතු ඉතා කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති  බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.


    රජයේ විශේෂ අමාත්‍ය නියෝජිත කණ්ඩාමක් සමඟ යාපනය විශ්වවිද්‍යාලයේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා අද (19) යාපනය විශ්වවිද්‍යාල භූමියේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවෙන් හා අදාළ සියලු රජයේ නිලධාරීන් මෙන්ම ශිෂ්‍ය නියෝජිතයින්ද සහභාගි වූ සාකච්ඡාවකින් පසුව ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.


    ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් යන අමාත්‍යවරුන්ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ.

    යාපනය සරසවියේ මේ වන විට පවත්නා සැබෑ තත්ත්වය හා ඉදිරි පියවර පැහැදිළි කරමින් තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

    “යාපනය සරසවියේ සැබෑ තත්වය සොයා බැලීම සඳහා අප අද කළ නිරීක්ෂණ චාරිකාවේදී සරසවි භූමිය සම්පූර්ණයෙන්ම සාමකාමී බව අපට දැක ගත හැකි වුණා. සියලු සිසුන් කිසිදු අවහිරයකින් තොරව එහි ගැවසෙන බව අප දුටුවා. එමෙන්ම යාපනය සරසවියේ උපකුලපතිතුමිය,  ආචාර්ය මණ්ඩලය හා සෙනෙට් සභාවේ සාමාජිකයිනුත් යාපනය දිස්ත්‍රික් ලේකම් වරයාත් විශේෂයෙන්ම ශිෂ්‍ය සංගම් නියෝජිතයිනුත් සමඟ ඉතා ඵලදායී සාකච්ඡාවක් පැවැත්වීමටත් අපට හැකි වුණා. මෙම සාකච්ඡාවට සහභාගි වූ සිසුන් අතර සිංහල, දෙමළ හා මුස්ළිම් යන සියලු ජාතීන්ට අයත් සිසුන් සිටි අතර ඒ සෑම දෙනෙක්ම සරසවියේ කටයුතු සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමේ ඉදිරි පියවර සඳහා ඉතාම ධනාත්මක ලෙස සහාය දීමට කැමැත්ත පළ කර සිටියා.

    එමෙන්ම මෙහිදී අප දුටු ඉතාම සතුටුදායක තත්ත්වය වන්නේ එම සිසුන් සිදු වූ සිදුවීම් ඉතා අවාසනාවන්ත ඒවා බව පිළිගත් අතරම නැවත එවැනි තත්වයක් ඇති නොවීමට කටයුතු කරන බවට සහතික වීමයි. එම පණිවිඩය දකුණටද සන්නිවේදනය කළ යුතු බව ඔවුන්ගේ ඉල්ලීම වුණා. සියලු සිසුන්ගේ දැඩි ඒකමතික බලාපොරොත්තුව වූයේ සරසවියේ අධ්‍යයන කටයුතු කඩිනමින් ආරම්භ වනු දැකීමයි. ඇත්තෙන්ම කුඩා සිදුවීමක් ඉතා පුළුල් කොට දැක්වීමක් මෙම සිද්ධියේදී සිදු වී ඇති බව අප කාටත් වැටහෙනවා. දකුණේ ප්‍රතිනිර්මානය කරන ආකාරයේ තත්ත්වයක් මෙහි නැහැ.

    අප හා සාකච්ඡාවට එක් වූ උපකුලපතිතුමිය ප්‍රධාන ආචාර්යවරුන් හා සෙසු නිලධාරීන්  අපට සහතික වූයේ සරසවියේ  අධ්‍යයන කටයතු යථා පරිදි සිදු කරගෙන යාම සඳහා සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඒ අනුව, යාපනය විශ්වවිද්‍යාලයට අයත් වවුනියා හා කිලිනොච්චි පීඨ සිය අධ්‍යයන කටයුතු හෙට (20) සිට ආරම්භ කරන බවට උපකුලපතිතුමිය අපට සහතික වූවා. එළඹෙන සඳුදා (25) වන විට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන්  යථා තත්ත්වයට පත් වනු ඇතැයි අප අපේක්ෂා කරනවා.
    ඇති වූ සිද්ධීන්ට වගකිව යුතු සිසුන්ට විරුද්ධව ඇති වීඩියෝ දර්ශන ඇතුලු සියලු සාක්ෂි විභාග කර බලා සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා බවද මෙහිදී අදාළ බලධාරීන් දන්වා සිටියා.


    මෙහිදී අප නිරීක්ෂණය කළ පරිදි දකුණේ සිසුන් නිදහසේ සැරිසරනවා. සිංහල, දෙමළ, මුස්ළිම් විද්‍යාර්ථින් ඉතාම සහයෝගයෙන් කටයුතු කරනවා. වෙළඳපොලවල් ආදිය පෙර සේම විවෘතයි. දකුණේ ශිෂ්‍යාවන් කීප දෙනෙක් පමණක් තම නිවෙස්වලට ගොස් ඇතත් අධ්‍යයන කටයුතු ඇරඹූ විට ඔවුන්ද නැවත පැමිණෙන බැවින් විශ්වවිද්‍යාල කටයුතුවලට කිසිදු බාධාවක් නැහැ.”
     
    යාපනය සරසවිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ ඇති කැපවීම අගය කරන අතරම නැවත මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් ඇති නොවීමට රජය පාර්ශ්වයෙන් ගත යුතු  සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.  

    මෙහිදී අදාළ සාකච්ඡාවන් සඳහා යාපනය විශ්වවිද්‍යාල උපකුලපතිනි මහාචාර්ය වසන්ති අරසරත්නම් මහත්මිය ඇතුලු රජයේ නිලධාරීන් රැසක්ද  සහභාගි වී සිටියහ. යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා හා කිලිනොච්චි පීඨ හෙට ආරම්භ වන අතරම  වෛද්‍ය හා ආයුර්වේද පීඨයන්හි අධ්‍යයන කටයුතුද ඇරඹීමට කටයුතු යොදා ඇති බව පැවසූ උපකුලපතිතුමිය කලා පීඨයේ විභාග පැවැත්වීම 25 වන දා සිදු කෙරෙනු ඇති බවත් සහතික කර සිටියාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya