අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය විශ්වවිද්‍යාල සිසුන් දෙපිරිසක් අතර සිද්ධිය සාමාන්‍ය තත්ත්වයට පත් වෙයි

    ජූලි 19, 2016

    යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර පෙරේදා (16) ඇති වූ සිද්ධියෙන් පසු දැන් එහි තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති අතර ළඟදීම විශ්වවිද්‍යාලය යළි විවෘත කිරීමට පියවර ගනිමින් පවතින බව රජය ප්‍රකාශ කරයි.


    මෙම සිද්ධිය රජය තරයේ හෙළා දකී. එමෙන්ම මෙම ගැටුමේදී ප්‍රචණ්ඩ ක්‍රියා‍වල යෙදුන ශිෂ්‍යයන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බව විශ්වවිද්‍යාල බලධාරීන් පවසන අතර විශ්වවිද්‍යාලය තුළ සාමය ඇති කිරීමට හා සිසුන්ගේ ආරක්ෂාව  තහවුරු කිරීමට රජය බැඳී සිටී. පොලිස් පරීක්ෂණ වෙනමම ක්‍රියාත්මකයි. ඒ හා සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය අකුරටම ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

    යාපනය විශ්ව විද්‍යාලයේ සිද්ධිය ජාතීන් අතර  ගැටුමක් ලෙස හුවා දැක්වීමට ඇතැම් පිරිස් උත්සාහ ගන්නා නමුත් මෙය හුදෙක් සිසුන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකි. එහෙත් එහිදී ඇතැම් සිසුන් ප්‍රචණ්ඩ ලෙස හැසිරීම රජය තරයේ හෙළා දකී. ගත වූ වසර ‍6ක පමණ කාලයක සිට යාපනය විශ්වවිද්‍යාලයේ විවිධ ජාතීන් හා ආගම් වලට අයත් 7,000 ක් පමණ වන සිසුහු සාමකාමීව අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුතුව කටයුතු කරති.
     
    ඔවුන් මීට පෙරද දීපවාලි, වෙසක් ආදී දෙමළ හා සිංහල ආගමික හා සංස්කෘතික උත්සව අවස්ථාවන්හිදී සහයෝගයෙන් කටයුතු කර ඇත. එසේම යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන් බොහොමයක් නතර වී සිටින්නේද දෙමළ ජනතාවගේ නිවෙස් වලය.
    පසුගිය සෙනසුරාදා සිද්ධියට හේතු වී ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ නවක සිසුන් පිළිගැනීම සඳහා පැවති උත්සවයකදී සිසුන් දෙපිරිසක් අතර හටගත් බහින්බස්වීමක් නිසා ඇති වූ ගැටුමකි.


    මෙම සිද්ධිය ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් බහුතරයක් වගකීමෙන් යුතුව වාර්තා කිරිම රජය අගය කරයි. එසේම සමාජ මාධ්‍යයන්ද මෙවැනි සිදුවීම් මීට වඩා වැඩි වගකීමකින් වාර්තා කළ යුතුව තිබේ.


    මෙම අවස්ථාවේ සාමය ආරක්ෂා කිරීමට නිරායුධව පැමිණි පොලීසිය ගැටුම සමථයකට පත් කිරිම සඳහා ක්‍රියා කළ ආකාරයද ප්‍රශංසනීයයි.


    මෙහිදී හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඒ නිසා ඇති වූ අවාසනාවන්ත තත්වය විශ්ව විද්‍යාල ප්‍රජාව, විශ්ව විද්‍යාල බලධාරීන්, ශිෂ්‍ය සංවිධාන, දෙමළ ජාතික සන්ධානය ඇතුලු දේශපාලන පක්ෂ විසින් හෙළා දැකීමද අගය කළ යුතුය.


    යාපනය විශ්ව විද්‍යාලයේ සිද්ධිය නිසා අනිකුත් විශ්ව විද්‍යාලවල නොසන්සුන් තත්වයක් ඇති නොවන පරිදි කටයුතු කිරීම පිළිබඳව එම විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය ප්‍රජාව හා පාලන අධිකාරීන්ට රජයේ ප්‍රශංසාව හිමි වේ. මේ සම්බන්ධයෙන් ගැටුමට අදාළ ශිෂ්‍ය කණ්ඩායම් දෙක ඇතුලු ප්‍රධාන පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කොට විශ්වවිද්‍යාලය තුළ සාමය හා සංහිඳියාව තහවුරු කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටී. මේ වෙනුවෙන් සාමය හා සහජීවනයට අදාළ අමාත්‍යාංශ සහ ආයතන වල සහායද ලබා ගැනේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya