මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා යෝජනා මාලාවක්

    ජනවාරි 20, 2016
    රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා යෝජනා මාලාවක් සකස් කර තිබෙන බව දේශීය ටෙලි නාට්‍ය ශිල්පී එකමුතුව ඊයේ (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.
    එහිදී ශ්‍රී ලංකාව තුළ අති බහුතර ප්‍රේක්ෂක සංඛාවක් අත්පත් කරගත් සන්නිවේදන මෙවළමක් වන රූපවාහිණිය, එහි වූ සංස්කෘතිකමය සාක්ෂරතාවය මග හැර, හුදු ආර්ථිකමය ලාබය පමණක් අපේක්ෂා කරන්නා වූ අර්බුධකාරී තත්ත්වයකට පත්ව ඇති බව දේශීය ටෙලි නාට්‍ය ශිල්පී එකමුතුව පවසයි.
    අද ශ්‍රී ලංකාවේ රූපවාහිනිය යනු බහුතර ජනතාවක් රොක් වූ සංස්කෘතික මෙවලමක් බැවින්, රූපවාහිනිය හා බැඳුනු කර්මාන්තයට, විටින් විට වෙනස් වන ආණ්ඩු අනුව තීරණ වෙනස් නොවන, ජාතික ප්‍රතිපත්තියක්, ක්‍රමවේදයක්, රාජ්‍ය මැදිහත්වීමක් හා නීතිමය පදනමක් සැකසිය යුතුව ඇති බවත් ඒ අනුව රූපවාහිනී කර්මාන්තයේ නියුතු නිර්මාණ ශිල්පීන් හා වෘතිකයින්ගේ අදහස්වලට අනුව සකස් කළ මූලික යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
    1. පුද්ගල නිදහසට, අදහස් ප්‍රකාශ කිරීමේ මූලික මිනිස් අයිතියට හා විවිධ වූ නිර්මාණාත්මක ශක්‍යතාවන්ට බාධා නොවන පරිදි, වාරණය වෙනුවට, සවාධීන ශ්‍රේණිගත කිරීමේ මණ්ඩලයක් මගින්, රූපවාහිනී ප්‍රසාංගික නිර්මාණ ගුණත්වය අනුව ශ්‍රේණිගත කිරීමකට ලක් කළ යුතුය.
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගුවන් විකාශන කාලය ලබා ගන්නා සියලු රූපවාහිනී ප්‍රාසාංගික නිර්මණ එම ශ්‍රේණිගත කිරීමට ලක්විය යුතුය. එමඟින්, ගුණත්වයෙන් තොර, අවරසික රූපවාහිණී ප්‍රාසාංගික නිර්මාණ සඳහා උනන්දුව අඩු කළ යුතුය.
    2. ආනයනික රූපවාහිනී ප්‍රාසාංගික නිර්මාණ සඳහා ජාතික ප්‍රතිපත්තිමය තීරණයක් ස්ථාපිත කළ යුතුය.
    දේශීය රූපවාහිනී ප්‍රාසාංගික නිර්මාණ හා කර්මාන්තය රැක ගැනීමේ අරමුණින්, ආනයනික නිෂ්පාදන සඳහා අය කළ බදු ක්‍රමයේ වූ දුර්වලතා හා හිඩැස් මගහැර නව සංශෝධිත විධිමත් බදු ක්‍රමයක් බල ගැන්විය යුතුය.
    3. රූපවාහිනියේ, වඩාත් ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි, සංස්කෘතිකමය වශයෙන් වඩා වැදගත් කාල ආවකාශය, දේශිය රූපවාහිනි ප්‍රාසාංගික නිර්මාණ සඳහා ප්‍රමුඛත්වය සපයන ක්‍රමවේදයක් සකස් කළ යුතුය.
    4. දේශීය රූපවාහිනී ප්‍රාසාංගික නිර්මාණයන් හී ගුණත්වය හා කර්මාන්තයේ සුරක්ෂිතභාවය වෙනුවෙන්, ශ්‍රේණිගත කිරීමට අනුව, නාලිකා (රාජ්‍ය/ පෞද්ගලික) නිර්මාණ මිළදී ගන්නා අවම මිල තීරණය කළ යුතුය.
    5. තම රූපවාහිනී තිරය අත්තනෝමතික ලෙස ආක්‍රමණය කරමින් ප්‍රේක්ෂකයාට තම රසවින්දනයට බාධාවන පරිදි සිදු කරන වෙළඳ දැන්වීම් පිළිබද (ප්‍රේක්ෂකයාගේ අයිතිය ගැන සලකා) ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුය.
    6. රූපවාහිනී කර්මාන්තය තුළ ස්ථාවරත්වයක් ඇති කිරීම තුළින්, කර්මාන්තය තුළ නියැලෙන්නන්ගේ සුර්ක්ෂිතභාවය තහවුරු කළ යුතු අතර, නිර්මාණරුවන්ගේ, වෘත්තිකයන්ගේ, වෘත්තීය අයිතිවාසිකම් හා වෘත්තීය ගරුත්වයන් ආරක්ෂාවන පරිදි ගෙවන අවම මිළ තිරීණය කළ යුතුය.
    7. රූපවාහිනී කර්මාන්තයේ නියුතු නිර්මාණ ශිල්පීන්, වෘතිකයින් හට කර්මාන්තය තුළ සිදුවන වෘත්තීය අයිතිවාසිකම් උල්ලංඝනය වීම්, අසාධාරණයට ලක්වීම් පැමිණිලි කළ හැකි, ඒ සඳහා නීතිමය ආවරණයක් සලසන, රූපවාහිනී වෘත්තිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් ස්ථාපිත කළ යුතුය.
    මේ සම්බන්ධව පුළුල් ලෙස සාකච්ඡා කිරීම සඳහා ජනවාරි 28, සවස 2.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී විශේෂ හමුවක් පැවැත්වෙන බව ද දේශීය ටෙලි නාට්‍ය ශිල්පී එකමුතුව ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya