රුහුණේ සිංහයා
ගැමි පරිසරය හා සබැඳි සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරයත් ගොවිතැන ප‍්‍රමුඛ කෘෂිකර්මාන්තයත් කුඩා කළ සිට ම මහින්ද රාජපක්ෂ හැදුණු පරිසරයේ සුවිශේෂී ලක්ෂණයන්ය. "රුහුණේ සිංහයා" මහින්දගේ මහප්පා විය. අධිරාජ්‍යවාදීන් විසින් අතිශය දිළිඳු බවට පත් කළ දකුණේ ගැමි ජනතාවට හඬක් දෙමින් බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහි ව නැගී සිටිමින් තිබූ ව්‍යාපාරයේ නායකයකු ලෙස රුහුණේ සිංහයා හෙවත් ඩී.එම්. රාජපක්ෂ මැතිතුමා ලබා දුන් ජනතා හිතවාදී දේශපාලන සම්ප‍්‍රදාය එතෙකින් ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාටත් අනතුරු ව මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් උරුම විය. රුහුණේ සිංහයාගෙන් උරුම වූ ග‍්‍රාමීය නායකත්වයේත් බලාපොරොත්තුවේත් කුරහන් පැහැ සාටකය මහින්ද රාජපක්ෂගේ උරමතට ගෙනාවේ අපේ කමත්, ගැමි ජනතා හඬත්, ගහකොළ සතා සීපාවට පවා ආදරය කරන මානව හිතවාදී ගුණයත් ය.
සිසු දිවිය තුළ දී ද දකුණේ ගොවි ජනතාව සමඟ අඛණ්ඩ ව සබඳතා පැවැත් වූ ඔහු කුඹුරට හා ගොවි ජනතාවගේ කෘෂිකාර්මික ජීවන ක‍්‍රමයට අමුත්තකු නොවීය. ඒ අතරතුර වාමාංශික ව්‍යාපාරය තුළ වාමාංශික හා රැඩිකල් විරෝධතා හා උද්ඝෝෂණ ව්‍යාපාර බොහොමයකට ද මහින්ද තරුණයා දායක වූයේය. පාසල් අධ්‍යාපනයෙන් පසු නීති විද්‍යාලයට ප‍්‍රවේශ වූ මහින්ද නීති ශිෂ්‍යයා වැඩි උනන්දුවක් දැක්වූයේ මානව හිමිකම් නීති ක්ෂේත‍්‍රයටය.
ශී‍්‍ර.ල.නි.ප නියෝජනය
1970දී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් බෙලිඅත්ත ආසනයෙන් පාර්ලිමේන්තුවට මහින්ද රාජපක්ෂ ප‍්‍රථම වරට තේරී පත් වන්නේ 1970 මැයි 27දා ය. ඒ වන විට මහින්ද රාජපක්ෂ අවුරුදු 24ක තරුණයෙකි. එවකට පාර්ලිමේන්තුවේ ලාබාල ම මන්තී‍්‍රවරයා ද ඔහු විය. හෙතෙම 1977 නොවැම්බර් නීතිඥයකු ලෙස ද දිවුරුම් දුන්නේය.
භීෂණයට එරෙහි ව
1988 - 90 කාලය තුළ මෙරට වෙලාගත් අඳුරු භීෂණයට එරෙහි ව නොබියව ජනතාව සමඟ සිටි නායකයා වූයේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි. දකුණේ භීෂණයට එරෙහි ව ඔහු ප‍්‍රබල හඬක් නැඟුවේය. 90 දශකයේ මුල් භාගය තුළ මහින්ද රාජපක්ෂ දකුණේ භීෂණයට
එරෙහි ව පීඩිතව සිටි ජනතාව සමඟ පාද යාත‍්‍රා, මිනිස් දම්වැල් සමඟින් ගොඩ නැගූ ජනතා බලවේගය 1994 පොදු පෙරමුණ බලයට පත්වීමට ප‍්‍රබල ම සවිය විය.
අමාත්‍යධූර
පොදු පෙරමුණු රජයේ කම්කරු, වෘත්තීය පුහුණු හා ධීවර අමාත්‍යාංශ හරහා පුළුල් ජනතා මෙහෙවරක් ඉටුකිරීමට මහින්ද රාජපක්ෂ අමාත්‍යවරයා කටයුතු කළේය. ප‍්‍රතිපත්තියටත් පක්ෂයටත් දැක්වූ ලැදියාව මහින්ද රාජපක්ෂගේ දේශපාලන දර්ශනයේ මුද්‍රාව විය. තම
පියාගේ ද මූලිකත්වයෙන් ආරම්භ කළ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයටත්, අභාවප‍්‍රාප්ත එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ හා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයටත් මහත් ලැදියාවකින් මහින්ද රාජපක්ෂ මැතිතුමා කටයුතු කළේය.
විපක්ෂ නායක
2002 වසරේ මාර්තු මාසයේ විපක්ෂ නායකයා ලෙස පත් වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා එම කාල වකවානුව තුළ කැපී පෙනෙන ජනතා මෙහෙවරක් ඉටු කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද
එතුමාගේ ජනතාහිතවාදී දේශපාලනයක් අපේකමට වූ සුවිශේෂී බැඳීමත් නිසා සියලු දේශපේ‍්‍රමි බලවේග එක්ව එතුමාව 2004 අපේ‍්‍රල් 06දා අග්‍රාමාත්‍ය ධූරයට ඔසවා තැබීය. 2005 ජනාධිපතිවරණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා මැතිවරණයෙන් ජය ගෙන 2005 නොවැම්බර් 19දා පස්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. අපේ කමට පණ පොවන මහින්ද චින්තනයට ජනතාවගේ බහුතර අනුමැතිය ලැබිණ. දේශීයත්වය රැකගනිමින් අපේකමට මුල්තැන දෙමින් රට සංවර්ධනය කරා ගෙනයාම මහින්ද චින්තනයෙන් ප‍්‍රකටය. 1978 එකවර හඳුන්වා දුන් විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති මත විනාශ මුඛයට ඇද දැමුණු දේශීය චින්තනයට සහ සංස්කෘතියට යළි පණ පෙවීමට මහින්ද චින්තනයට හැකි වූ බව අද වන විට තහවුරු වී තිබේ.
අභියෝග
2005 බලයට පත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ අභියෝග 2ක් විය. පළමු වැන්න කුරිරු ත‍්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමයි. දෙවැන්න දශක තුනක් ආපස්සට ගිය රට ගොඩනැගීමයි. ත‍්‍රස්තවාදයට එරෙහි සංග‍්‍රාමය වසර තුනක් වැනි කෙටි කලකින් ජයගත්
මහින්ද රාජපක්ෂ මහතා රට ගොඩනැගීමේ සංවර්ධන සංග‍්‍රාමය ද සාර්ථකව දියත් කර තිබේ.
මානුෂික මෙහෙයුම
ලොව විශාලත ම මානුෂික මෙහෙයුමට නායකත්වය දුන් එතුමා තුන් ලක්ෂයකට අධික පිරිසක් ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් මුදා ගත්තේය. ජනතාවට ජීවත්වීමේ අයිතිය ලබා දුන්නේය. මුදා ගත් පිරිස ඉතා කෙටි කාලයකින් සියලු පහසුකම් සහිත ව සිය ගම් බිම්වල පදිංචි කෙරිණ. ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම්වල යෙදුණු 12,000කට ආසන්න පිරිසක් පුනරුත්ථාපනය කර යළි සමාජගත කෙරිණ. එය ලොව අන් කිසිදු රටක සිදු නොවූවකි. උතුරේ දරුවන් තුවක්කුව, බෝම්බය වෙනුවට පෑන, පොතපත යළි අතට ගත් යුගය උදා කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාය.
ත‍්‍රස්තවාදය පරාජය කර නැවත වරක් රට එක්සේසත් කිරීමට ගත් තීන්දුව අනුමත කරමින් 2010 පැවති ජනාධිපතිවරණයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පොදු අපේක්ෂකයාට වඩා වැඩි ජන්ද 1,842,749 ක් මහින්ද රාජපක්ෂට ජනතාව ලබා දුන්හ. ජනතා හිතවාදී ප‍්‍රගතිශීලී සියලු බලවේග මහින්ද රාජපක්ෂ වටා රොක් විය.
අපේකම රැකගනිමින් දේශීය ආර්ථිකයට පණ පෙවීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා උත්සුක වූයේය. ඒ සඳහා මහින්ද චින්තන ඉදිරි දැක්ම ජනතා දෝතට ජනාධිපතිවරයා පත් කළේ මෙලෙසය. මා ඔබෙන් ලද පළමු ජනවරමෙන් ඔබ අපේක්ෂා කළ සාමය මම ඔබට
දිනා දුන්නෙමි. එලෙස කී දේ කළ කී පොදු ජන සේවකයකු වශයෙන් ඔබේ මීළඟ අපේක්ෂාවන් ද ඉටුකිරිම වෙනුවෙන් මා සතු අධිෂ්ඨානය මහින්ද චින්තන ඉදිරි දැක්ම ලෙස මෙසේ සකස් කළෙමි. අප සැම එක්ව අපගේ රට දියුණුවේ හිනි පෙත කරා රැගෙන යමු.
සංවර්ධන සංග‍්‍රාමය
දියුණු මංමාවත්, අධිවේගී මාර්ග, වරායන්, ගුවන් තොටුපොළවල් ඇතුළු ශීඝ‍්‍ර සංවර්ධනයකට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ජාතියට තිළිණ කරන අතරතුර අපේකම රැකදෙන කෘෂිකර්මාන්තය පසුගිය වසර කිහිපය තුළ හිනිපෙත්තට ගියේය. සහලින් ස්වයංපෝෂිත වී සහල් අපනයනයටත් හැකි ස්වර්ණමය යුගයකට එළඹීයේය. කලක් වස පානය කර මිය ගිය ගොවියා අද හොඳ පන්නරයක් ලබා ඇත. කුඹුරු ගොඩ කර දේශීයත්වය විනාශ කිරීමට ඇතැමුන් කටයුතු කරද්දී ගොවිතැන රැකදීමට පොහොර සහනාධාරය වැනි දැවැන්ත සහනාධාර ව්‍යාපෘති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇරඹුවේ විනාශ මුඛයට ගිය අපේ ස්වයංපෝෂිත ආර්ථික රටාව යළි නැංවීමට ය.
දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති
නිදහසින් පසු නව වරායක් සහ ගුවන් තොටුපොළක් අප රටේ ඉදිවන්නේ මේ යුගයේදී ය. මත්තල ගුවන්තොටුපොළත්, හම්බන්තොට වරායත් සංවර්ධනයේ නව කේන්ද්‍රස්ථානයන් ය. ආර්ථික දර්ශකයේ පැහැදිලි වෙනසක් අපේක්‍ෂා කරන දකුණු ප‍්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය, නොරොච්චෝලේ තාප බලාගාරය, ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය, කෙරවළපිටිය ගල්අඟුරු බලාගාරය, හම්බන්තොට සූර්ය විදුලි බලාගාරය, උමා ඔය ජලවිදුලි හා වාරි ව්‍යාපෘතිය, සාම්පූර් ගල් අඟුරු බලාගාරය, මහ දඹුල්ල සංවර්ධනය, උතුරු මාර්ග සංවර්ධනය, යාපනය ජල සම්පාදන ව්‍යාපෘතිය, මහ කොළඹ ජලාපවහන පද්ධතිය ප‍්‍රතිසංස්කරණය, දක්‍ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය, ගුවන් පාලම්, උතුරු දුම්රිය සේවය යළි ප‍්‍රතිසංස්කරණය කිරීම, ඩීසල් බලවේග කට්ටල 13ක් අලුතින් එක් කිරීම, නැගෙනහිර දුම්රිය මාර්ගය ප‍්‍රතිසංස්කරණය කිරීම, කොළඹ වරාය පුළුල් කිරීම, ගාලු හා ඔලුවිල් වරාය සංවර්ධනය යන මේවා පසුගිය වසර තුළ ක‍්‍රියාත්මක වූ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතීන් ය.
මේ අතර දියත් කෙරුණු බහුවිධ සංවර්ධන වැඩසටහන් රැසකි. මඟ නැඟුම, ගම නැඟුම, දිවි නැඟුම, ජාතික සවිය, ගැමි දිරිය, සුනාමි නිවාස, කිරි ගම්මාන, දියවර ගම්මාන, උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය, රජරට නවෝදය, සෙංකඩගල නවෝදය, ගැමි පුබුදුව ඉන් සමහරකි.
අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඇති වූයේ ද සුවිශේෂී පිබිදීමකි. ප‍්‍රාථමික පාසල් 5,000ක් පෝෂණය කිරීම, ද්විතීයක පාසල් 1,000ක් රට පුරා ඇති කිරීම, මහින්දෝදය පාසල් 1,000ක් ඉදිකිරීම, විෂය මාලා සංවර්ධනය අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ කැපී පෙනෙන වර්ධනයක් ඇති කිරීමට සමත් විය.
ගෙවුණු දශකය ශ‍්‍රී ලංකා ඉතිහාසයේ සංවර්ධනයේ ස්වර්ණමය යුගය සනිටුහන් කෙරෙන බව අවිවාදයෙන් පිළිගත හැක්කේ මේසා විශාල සංවර්ධන ව්‍යාපෘති අන් කවර කාල වකවානුවකවත් ක‍්‍රියාත්මක නොවූ නිසාය.
බෞද්ධාගමික ප‍්‍රබෝධය
රට තුළ මෑත ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා බෞද්ධාගමික ප‍්‍රබෝධයක් ඇති වී තිබේ. බෞද්ධාගමික ප‍්‍රබෝධයත් රට තුළ සශ‍්‍රීකත්වයත් එකවිට සිදුවීම අතීතයේ පවා සිදු වූ බව ඉතිහාසය සාක්ෂි දරයි. 2600 වැනි ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව රට පුරා බෞද්ධාගමික ප‍්‍රබෝධයක් ඇති වීම අපේ කම ඉදිරියට ගෙන යාමට ඉවහල් වන්නකි. මහා සංඝරත්නයේ ඕනෑ එපාකම් නිරන්තරයෙන් සොයා බලමින් වෙහෙර විහාර දාගැබ් ඉදිකරමින් පූජා භූමි සංවර්ධනය කරමින් පසුගිය කාලය තුළ බුද්ධ ශාසනයේ චිරස්තිථිය පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය.
ශී‍්‍ර ලාංකේය අභිමානය
අපේකම ජාත්‍යන්තරයට ගෙන ගිය එක ම නායකයා ද මහින්ද රාජපක්ෂ විය. විදේශ අභියෝග හමුවේ නොසැලී ඍජු ව විදේශ ප‍්‍රතිපත්තිය මෙහෙය වූ එක ම නායකයා ද මහින්ද රාජපක්ෂයන් ය. ම්ලේච්ඡ ත‍්‍රස්තවාදයෙන් රට මුදා ගනිමින් රට එක්සේසත් කළ මහින්ද රාජපක්ෂ මැතිතුමා අපගේ ප්‍රෞඪ ඉතිහාසයට අභිමානයක් එක් කළේය. ජාත්‍යන්තර බලවතුන් ඉදිරියේ දණින් නොවැටුණු එතුමා ශී‍්‍ර ලාංකීය අභිමානය ලොව හමුවේ ප‍්‍රකට කළේ මහා සිංහලයකුගේ පෞරුෂයත්, තේජසත්, ශ්‍රේෂ්ඨ නායකයකුගේ උතුම් ගුණාංගත් ඉස්මතු කරමිනි.
අද දින ජන්ම දිනය සමරන මේ මහා නායකයාණන්ට අප රට සංවර්ධනයේ ඉහළට ඔසවා තැබීමට ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා යි අපි ප‍්‍රාර්ථනය කරමු.
NDH/priu