අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව ආසියාවේ බලවත් රාජ්‍යයක් බවට පත්කිරීම අදිටන් කරගත යුතුයි-ජනපති ජාතික දින උළෙලේදී කියයි

    පෙබරවාරි 04, 2019

    අදින් ඇරඹෙන 71 වැනි ජාතික දින සැමරුම තුළ අප අධිෂ්ඨාන කරගත යුත්තේ ශ්‍රී ලංකාව ආසියාවේ යටපත් කළ නොහැකි බලවත් සමෘද්ධිමත් ජාතික රාජ්‍යයක් බවට පත්කිරීම යයි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    ශ්‍රී ලාංකික සමාජය ස්ථාවර හා සහජීවනය හෙබි ශ්‍රී ලාංකික ජාතියක් බවට පත්කරමින් සුහුරු ආර්ථිකයක් වෙත ගෙනයා යුතු අතර දේශපාලන අරාජිකභාවය පිටු දැකීම සඳහා පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්නා වූ තුළන හා සංවරණ ක්‍රමයන් ද ඡන්ද ක්‍රමයන් ද හඳුන්වාදිය යුතු යයි ජනාධිපති තුමා පැවසුවේ කොළඹ ගාලු මුවදොර පිටියේ අද (4) පැවති 71 වැනි ජාතික  දින උළෙල අමතමිනි.

    එහිදී තවදුරටත් කතා කළ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය.

    විසිඑක්වන සියවසයේ දෙවන දශකයේ අගභාගයේ සිටින අප රටේ නිදහස හා ජාතික නිදහස පිළිබඳ සමරණ අද වැනි දිනෙක නව මානයකින් හා විවෘත මනසකින් නිදහස තුළ අන්තර්ගතවන පුළුල් සංකල්ප හොඳින් අවබෝධ කරගනිමු යැයි සියලු පුරවැසියන් ගෙන් මා ඉතා ගෞරවයෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිමි.

    මෙම ජාතික මට්ටමේ ප්‍රශ්න නැතහොත් ජාතික අභියෝග එකින් එක මේවා යයි විස්තර කිරීමට මෙය අවස්ථාවක් නොවෙයි. ඒත් අප ඇතුළුව අ‍පේ රටේ සියලුම නායකයින් එක ලෙස වගකිව යුතු 30 අවුරුදු යුද්ධය අවසන් වී දශකයක් ගෙවී ගිය තැනද රටේ සියලු දෙනාට එකඟවිය හැකි පූර්ණ දේශපාලන විසඳුමකට පැමිණීමට අපට නොහැකි වීම කණගාටුවට කරුණක්.

    එහෙත් කුමන ආකාරයකට වුවත්, වගකිව යුත්තන් කවුරුන් වුවත් අප රට ජනතාව මීට දශක ගණනාවක සිටම අපේක්ෂා කළ ජාතික සංවර්ධනය රටට ළඟා කරලීමට දේශපාලන නායකයින් ලෙස අප සියල්ල අසමත් වී ඇත.

    ආර්ථික සංවර්ධනය යන මාතෘකාව යටතේ අත්හදා බැලීම් කරමින්, සියලු වැරදි නිවැරදි කරගනිමින් මන්දගාමී ආර්ථික ක්‍රියාවලියක නිරතවීමට තවදුරටත් අපේ ජනතාව සූදානම්ව නැත. රටට නායකත්වය දෙන දේශපාලන නායකයින් මේ බව ඉතා හොඳින් අවබෝධ කරගත යුතුය. ඒ තුළින් රටේ ආර්ථික සංවර්ධනයට රුකුලක් වන ආකාරයට පාසල් අධ්‍යාපනය, විශ්ව විද්‍යාල අධ්‍යාපනය, වෘත්තීය හා ආර්ථික අධ්‍යාපනයේ මූලික ප්‍රතිසංස්කරණ හා වෙනස්කම් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව හා 21 වැනි සියවසයේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි සිදු කිරීම ඉතා අවශ්‍ය කාරණයකි.

    විශේෂයෙන් 21 වැනි සියවසයේ නූතන ආර්ථික සංකල්ප වන දැනුමේ ආර්ථිකය, නවෝත්පාදන ආර්ථිකය, නීල හරිත ආර්ථිකය, සමුද්‍රීය ආර්ථිකය, හා ඩිජිටල් ආර්ථිකය වැනි නව ආර්ථික සංකල්ප එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයන්ට සමගාමීව ක්‍රියාවට නැංවීම අප ක්‍රියා කළ යුතුයි.

    ලෝකයේ බොහෝ ආර්ථික විද්‍යාඥයින් 21 වැනි සියවසට ලබා දෙන නාමය වන්නේ ආසියාවේ සියවස යන්නයි. ඒ අනුව ආසියා කලාපයේ ආර්ථික වර්ධනය ඉතා වේගයෙන් සිදුවෙන මෙම වකවානුවේ ඒ නිසර්ග වාසි දායක තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් අනාගත ආසියාවේ නිපුන ශ්‍රම වෙළෙඳපොළ වෙත නිපුණ ශ්‍රමිකයින් හා වෘත්තිකයින් සපයන ප්‍රධාන රට ශ්‍රී ලංකාව බවට පත්කිරීමට අප සියල්ල කටයුතු කළ යුතුව ඇත.

    ඒ වගේම 2015 සිට මේ වන විය පැහැදිලි ලෙස ම අපි භීෂණය ඉවත් කළා. එහෙත් දූෂණය ඉවත් කිරීම නම් කොතරම් දුරද එයට අවංක දේශපාලඥයින් පිරිසකගේ හිඟයක් මා දකිනවා. ඒ අනුව අප අදින් ඇරඹෙන 71 වැනි ජාතික නිදහස් දින සැමරුම තුළ අප අධිෂ්ඨාන කළ යුත්තේ ශ්‍රී ලංකාව ආසියාවේ යටපත් කළ නොහැකි වන බලවත් සමෘදිමත් ජාතික රාජ්‍යයක් බවට පත්කිරීමයි. ශ්‍රී ලාංකික සමාජය ස්ථාවර සහජීවනය හෙබි ශ්‍රී ලාංකික ජාතියක් බවට පත්කිරීම. සුහුරු ආර්ථිකයක් වෙත ගෙන යාම. සුහුරු ආර්ථිකය තුළ දුගී භාවය සියල්ලන් එකතු කරන්නා වූ හරිත ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ප්‍රමුඛත්වයක් ලබාදීමට දේශපාලන අරාජික බව පිටුදැකීම සඳහා පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්නා වූ තුළන හා සංවරණ ක්‍රමයන් ද ඡන්ද කුමයන් ද හඳුන්වාදීම.

    රාජ්‍ය පාලනය සඳහා කුසලතාවාදය හඳුන්වාදීම අවශ්‍ය දෙයක්. රට තුළ දූෂණය නාස්තිය හා අක්‍රමිකතා සහමුලින් පිටු දැකීමට අප එක්විය යුතුය. ඒ සඳහා කැපවිය යුතුය.මත්කුඩු ජාවාරම, පාතාලය ඇතුළු රට තුළ මුල් බැසගත් රටේ කළු ආර්ථිකයට පන පොවන සියලු ජාවාරම් අනීතික ආර්ථික කටයුතු අප විසින් පරාජය කළ යුතුයි.

    රටේ අනාගතයේ නිර්මාණකරුවන් වන තරුණ පරපුර නවෝත්පාදනයට පොළඹවන හා ඒ සඳහා සානුබල පරිසරයක් ගොඩනැගීම, එහිලා තාක්ෂණික අධ්‍යාපනය, ප්‍රාග්ධනය, තාක්ෂණය හා යටිතල පහසුකම්, ලබා දීම අප වහා කළ යුතුයි.

    උගතුන් පිරි ජාතියක් බවට පත් කරන්න අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිනම් කළ යුතුව කිබෙනවා. මා 2016 දී කියූ සංස්කෘතික දරුවා සහ තාක්ෂණික දරුවා රැකගැනීම හා පෝෂණය කිරීම අප කාගේත් යුතුකමක්.

    කිසිදා බිදෙක්නේ නැති කිසිම දවසක බිඳින්න බැරි රටක් තුළ එකම ධජයක් යටතේ එකම දේශයක් යටතට සියල්ලෝම එක හා සමානව ජීවත් වන්නට අවශ්‍ය පසුබිම අප සැකසිය යුතුය.

    තිස්වසරකට ආසන්න යුද්ධයෙන් මියගිය රණවිරුවන්, ආබාධිතයින් හා ඒ පවුල්වල සෑම විශිෂ්ට රණවිරුවෙකුටම මා නැවත නැවතත් ගෞරවයෙන් සිහිපත් කරනවා. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සඳහා එහි සේවය කරන ශ්‍රී ලාංකික රණවිරුවන් ගෙන් පසුගිය සතියේ දෙදෙනෙක් මිය ගියා. ඔවුන්ගේ අභාවයන් පිළිබඳව මේ අවස්ථාවේදී ගෞරවයෙන් සිහිපත් කරනවා වගේම මුළු මහත් ජාතියෙන් ප්‍රණාමය ඔවුන්ට හිමි කරනවා.

    හෙළ මියැසියට කුමාරතුංග මුනිදාසයන් ලියූ නිසැදසක් අපගේ මෙම ගමන් මඟට ආලෝකයක් ලබා දෙනවා. එය නම්,

    මා දෙස, හෙළ දෙස

    මා දෙස, හෙළ රැස

    මා බස, හෙළ බස

    මේ මගෙ හිස මත

    අප විසින් ගොඩ නගා ගත යුතු ජාත්‍යානුරාගයේ හරය එය වියයුතු යයි මා විශ්වාස කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya