නොවැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා-සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය - සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කතාව

    ජූලි 18, 2018


    ශ්‍රී ලංකා-සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය - 2018 ජුලි මස 17 වන දින සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කතාව

    ගරු කතානායකතුමනි


    මගේ කතාව ආරම්භයේදීම මම මෙම ගිවිසුම ගැන වැදගත් වන කරැණු සහ යෝජනා ඉදිරිපත් කල සියලුම ගරු මන්ත්‍රීවරැන්ට මගේ ස්තූතිය පුදකර සිටිනවා. නමුත් විපක්ෂයේ සමහර මන්ත්‍රීවරැන් සහ සමහරක් සංවිධාන විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය(GMOA), ඔවුන් වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් විශේෂඥයන් යැයි සිතමින් කිසිදු පදනමකින් තොර චෝදනා එල්ලකරනවා. මෙම කරැණු සත්‍යතාවයෙන් තොර බව මම මගේ ප්‍රකාශය ආරම්භයේදීම පැවසා සිටින්නේ වගකීමකින් යුතුවයි. මට පෙන්නේ GMOA එක වෘත්තීය සමිතියක් බවයි. පොහොට්ටුවේ වෘත්තීය සමිතියක් බව දැන්මම ඔප්පු වෙලා ඉවරයි.

    අපට නිදහස ලැබී මේ වන විට වසර 70 කටත් වැඩියි. නමුත් අපිට අවංකවම කියන්න පුලුවන්ද අපට ආර්ථික නිදහස ලැබිලා තියෙන බව ? නිදහස ලැබී වසර 70 කට පසුත් මිලියන ගණනක් රටේ ජනතාව දිනකට වේල් දෙකක් වත් ආහාර ගන්න බැරිව සිටිනවා. තවත් සමහරැ තමන්ගේ දරැවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට බැරැව සිටිනවා. තවත් සමහරක් ජනතාව හොඳ රැකියා සොයමින් ඉන්නවා. මේ සියල්ලටම හේතුව අප රටක් වශයෙන් ආර්ථික නිදහස ලබාගැනීමට අසමත් වීමයි. එසේ ආර්ථික නිදහසලබා ගැනීමට නොහැකිවීමට ප්‍රධාන හේතුව රටේ ප්‍රගතිය වෙනුවට තම වාසිය පිළිබඳ සැලකූ දේශපාලනයයි. රජයක් ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමට යම් ප්‍රගතිශීලී පියවරක් ගත්විට විපක්ෂය උපරිමයෙන් උත්සහ දරනවා එම වැඩසටහන් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම නවත්තන්න.

    ඒත් එක්කම අප මේ වන තෙක් අනුගමනය කරන ලද වෙළඳ ප්‍රතිපත්ති වෙනස් කල යුතුව තිබෙනවා. දේශීය වෙළඳපලට පමණක් අවදානය යොමුකරමින් අනුගමනය කරන ලද ආරක්ෂණවාදී වෙළඳපල ප්‍රතිපත්ති අපට අවශ්‍ය කරන ප්‍රතිඵල ගෙනදීමට අසමත්වී තිබෙනවා. එහෙත් කලාපයේ අනෙකුත් රටවල අත්දැකීම මීට සම්පුර්ණයෙන්ම වෙනස්. සිංගප්පූරැව, මැලේසියාව, තායිලන්තය, වියට්නාමය තායිවානය ඇතුලු රටවල් රාශියක් විවෘත වෙළඳපල ප්‍රතිපත්ති අනුගමනය කිරීම හරහා ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමට මෙන්ම ව්‍යාපාර වලට වඩාත් හිතකර පරිසරයක් ස්ථාපිත කිරීමට සමත්ව සිටිනවා. මෙම රටවල් වෙළඳාම හා ආයෝජන වැඩිකරගැනීම ඔවුන්ගේ සංවර්ධන ප්‍රමුඛතාවක් ලෙස සලකා කටයුතු කලත් අප රටක් වශයෙන් එසේ සිදුකළේ නෑ. දැන් අපට අවස්ථාවක් ලැබී තියෙනවා

    අප අනුගමනය කරපු ප්‍රතිපත්ති වෙනස් කරලා අපට මගහැරැනු සංවර්ධන අවස්ථා ලබාගන්න. 2017 දී ශ්‍රී ලංකාවට හැකිවුනා ඉතිහාසයේ ඉහළම අපනයන ආදායම වාර්තා කරන්න. ඒ ඩොලර් බිලියන 15.15 ක්. මට විශ්වාසයි මේ වසරේදී අපට ඩොලර් බිලියන 17.2 ක අපනයන ආදායමක් ලබාගන්න හැකිවන බව. 2017 වසරේදී විශාල සෘජු ආයෝජන ප්‍රමාණයක් ලබා ගැනීමටද අපට හැකිවුනා. 2017 දී අප ලද සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 1.9 ක්. මට විශ්වාසයි මේ වසරේදී ඩොලර් මිලියන 2.5 ක සෘජු හැකි වන බවට.

    එසේ නමුත් අනෙකුත් ආසියානු රටවල් හා සන්සන්දනය කිරීමේදී ශ්‍රි ලංකාවේ අපනයන ආදායම ඉතාම අඩුයි. සිංගප්පූරැවේ වාර්ෂික අපනයන ආදායම ඩොලර් බිලියන 480ක් තායිවාන් එය ඩොලර් බිලියන 340 ක්. තායිලන්තයේ එය බිලියන 254යි.වියට්නාමයේ එය බිලියන 250යි. මැලේසියාවේ එය ඩොලර් බිලියන 230 ක්. ශ්‍රී ලංකාවට පසු ජාත්‍යන්තර වෙළඳාම හා සම්බන්ධ වූ බංගලාදේශයේ වාර්ෂික අපනයන ආදායම ත් දැන් ඩොලර් බිලියන 41 ක්. මෙම රටවල් වලට ලැබෙන සෘජු විදේශ ආයෝජනත් ඉහළ මට්ටමක පවතිනවා. සිංගප්පූරැව ට ලැබුනු සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 77 ක්. වියට්නාමයට ලැබුනු සෘජු ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 12 ක්. තායිලන්තයට සහ තායිවානයට පිළිවෙලින් ඩොලර් බිලියන 9 ක් සහ 5 බැගින් සෘජු විදේශ ආයෝජන ලැබී තිබෙනවා. මෙහිදී අප හඳුනාගත යුතු කරුණ තමයි මේ රටවල් සියල්ලම නිදහස් වෙළඳ ගිවිසුම් වලට එළඹ ඇතිබව සහ වෙළඳාම ලිහිල් කර ඇති බව. ඒ හරහා මේ රටවල් වලට හැකිවී තිබෙනවා සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට. ඒ හරහා මෙම රටවල් කෙටි කාලයක් තුළ ඉහළ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගෙන තිබෙනවා වගේම තම රටේ ජනතාවට හොඳ රැකියා ලබාදීමට මෙන්ම ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමටද ක්‍රියාකොට තිබෙනවා.

     

    මින් ඉතා පැහැදිළිව අපට පෙන්නුම් කරන්නේ අපි අපේ තරඟකාරීන් සමඟ සසඳා බලද්දී අලුතින් සිතීම අතින් කොතරම් පසුපසින් සිටිනවාද යන්නයි තුන්වන ලෝකයේ රටක්ව සිට සංවර්ධිත රටක් බවට පත්වුනු එක රටක් හෝ තියෙනවද ජාත්‍යන්තර වෙළඳාමට විවෘත හා විදේශ ආයෝජන වලට විවෘත නොවී ? මම අභියෝග කරනවා එහෙම එක රටක් හරි තියෙනවා නම් සඳහන් කරරන්න කියලා. සත්‍යය නම් එවන් එක රටක් වත් නෑ අපිට රටක් වශයෙන් ඉතා දිගු ගමනක් තිබෙනවා. එහෙත් අපි මිලියන 21 පමණක් සිටින අපේ දේශීය වෙළඳපලට පමණක් අවදානය යොමු කළහොත් අපිට කවදාවත් රටක් වශයෙන් අපට අවශ්‍ය කරන සීඝ්‍ර ආර්ථික වර්ධනය ළඟාකරගන්නට හැකිවෙන්නේ නැහැ. අපිට රටක් වශයෙන් ඇති විසඳුව වන්නේ ගෝලීය වෙළඳපල සමඟ සම්බන්ධ වීමයි. මෙම වෙළඳ ගිවිසුම් වලට එළඹීමේ මූලික පරමාර්ථය වන්නේ එයයි. වෙළඳ ගිවිසුම් හරහා අපට හැකිවෙනවා නව වෙළඳපලවල් වලට පිවිසීමට ආයෝජන ලබාගැනීමට මෙන්ම නව
    තාක්ෂණය ලබා ගැනීමට. ඒ හරහා අපට පුලුවන් ගෝලීය වෙළඳපලේදී ලෝකයේ අනෙකුත් රටවල් හා තරඟ කරන්න සහ ඒ හරහා සංවර්ධනය ළඟා කර ගන්න.

    ජීවන වියදම සම්බන්ධයෙන් වන කැබිනට් කමිටුවේ සභාපතීත්වය දරන්නේ මමයි. මෙහිදී ජීවන වියදම අඩුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී අප බොහෝ විට කතාකරන්නේ භාණ්ඩ වල මිල අඩුකිරීම සම්බන්ධවයි. නමුත් භාණ්ඩවල මිල අඩුකිරීම යනු ජීවන වියදම ඉහළ යාම කියන ගැටලුවේ එක පැත්තක් පමණයි. එහි අනිත් පැත්ත නම් ජනතාවට ලැබෙන ආදායම යි. ජනතාවගේ ආදායම ඉහළ දැමීම හරහා අපට පුලුවන් ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි කරන්න සහ වඩාත් ගුණාත්මක ජීවිතයක් ඔවුන්ට ලබාදෙන්න. වර්තමානයේ පවතින තරඟකාරී වෙළඳපල ආර්ථිකය තුල එසේ ආදායම ඉහළ දැමිය හැකි එකම ක්‍රමය නම ගෝලීය වෙළදපල සමඟ වඩාත් හොඳ සම්බන්ධතාවයක් පවත්වාගැනීමයි.

    මෙසේ ගෝලීය වෙළඳපල හා සම්බන්ධවීමේදී දේශීය කර්මාන්තවලට සිදුවන බලපෑම පිළිබඳ අප අවදානය යොමුකරනවා. එහෙත් අපට බැහැ ඒ කරැණ සම්බන්ධයෙන් විතරක් සලකලා බලලා තීන්දු-තීරණ ගන්න. අපි රජයක් වශයෙන් සූදානම් දේශීය කර්මාන්ත වැඩිදියුණු කිරීමට සහයෝගය ලබාදෙන්න. අපි දැනටත් ඒ කටයුත්ත කරනවා. එහෙත් සහයෝගය ලබාදීම කියන්නේ ආරක්ෂණවාදයට නෙවෙයි. ආනයනය කරන භාණ්ඩ මත අතිවිශාල තීරැබදු පනවමින් ක්‍රියාත්මක කරනු ලබන ආරක්ෂණවාදී ප්‍රතිපත්ති හරහා දේශීය කර්මාන්ත දියුණු කල නොහැකියි. එවැනි ආරක්ෂණවාදී ප්‍රතිපත්ති හරහා කර්මාන්ත අකාර්යක්ෂම වන අතරම පාරිභෝගිකයන්ට භාණ්ඩ වලට ඉතා ඉහළ මිලක් ගෙවීමට සිදුවෙනවා. අපි කර්මාන්තකරැවන්ට සහයෝගය ලබාදෙනවා කාර්යක්ෂමතාවය හරහා ඵලදායිතාවය ඉහළ දැමීමට. ඒ හරහා ඔවුන්ට හැකිවෙනවා ගෝලීය වෙළඳපලේ අනෙකුත් සැපයුම්කරැවන් සමග තරඟ කරන්න. මේ වන විටත් අපි දේශීය කර්මාන්තකරැවන්ට සහය ලබාදීම ණය යෝජනා ක්‍රම කීපයක් මෙන්ම අපනයනයේ යෙදී සිටින සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහය වීමට විශේෂ ආධාර ක්‍රමයක් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම අප බලාපොරොත්තු වෙනවා වෙළඳ ගිවිසුම හරහා සිදුවන තීරැබදු ඉවත් කිරීම නිසා බලපෑමට ලක්වන කර්මාන්තකරැවන් සඳහා විදේශ වෙළඳ ගැලපීම් වැඩසටහනක් හඳුන්වාදීමට. මේ යටතේ දේශීය කර්මාන්තවලට නව තාක්ෂණය ලබා ගැනීමට, නිෂ්පාදනය ඵලදායිතාවය ඉහළ දැමීමට උදව් වන නව යන්ත්‍ර සූත්‍ර ලබාදීමට සහ සේවකයන්ගේ කාර්යක්ෂමතාවය ඉහළ දැමීම සඳහා අවශ්‍ය කරන පුහුණුව ලබාදීමට අපි කටයුතු කරනවා. එමෙන්ම අපට සිද්ධවෙනවා මෙම වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක වීමත් සමග අලුතින් ආරම්භ වන කර්මාන්ත වැඩිදියුණු කිරීමට සහය වීමට.

    ශ්‍රී ලංකාවට ගෝලීය වෙළඳපල සමග තරඟ කිරීමට අපහසු නිසා වෙළදපල විවෘත කිරීමේදී එය ඉතා ප්‍රවේශමෙන් කල යුතු බව පවසන සියලුම දෙනා ශ්‍රී ලංකාවට විශාල අසාධාරණයක් කරනවා. ඇයි අපි ලෝකයේ අනෙකුත් නිෂ්පාදන හා තරඟ කිරීමට බිය වන්නේ ? අපේ අපනයන කරැවන් දෙස බැලුවොත් ඔබට පෙනේවි ඔවුන් කොතරම් දක්ෂ ආකාරයට ගෝලීය නිෂ්පාදන හා තරඟ කර තිබෙනවාද කියන එක. ලංකාවේ නිෂ්පාදනය කරන රබර් ටයර් ලෝයේ හොඳම ගුවන්යානා නිපදවීමට යොදා ගන්නවා. ලෝකයේ පිළිගත් ශල්‍ය වෛද්‍යවරැන් භාවිතා කරන්නේ අපේ රටේ නිපදවන අත්වැසුම් (ග්ලවුස්) ලෝකයේ හොඳම මලල ක්‍රීඩකයන් ලංකාවේ නිෂ්පාදනය කරන ලද ඇඳුම් පැළඳුම් භාවිතා කරනවා. ලෝකයේ හොඳම මෝටර් රථ නිෂ්පාදකයන් ඔවුන්ගේ මෝටර් රථ නිපදවන්නේ අපේ රටේ නිෂ්පාදනය කල ඉලෙක්ට්‍රොනික් සංවේදක (electronic censors ) යොදාගෙන. ලෝකයේ ප්‍රධානතම කොටස්වෙළඳපලවල් අප විසින් නිපදවන ලද මෘදුකාංග භාවිතා කරනවා. අපිට පුලුවන් ගෝලීය නිෂ්පාදන හා තරඟ කරන්න. අපේ කර්මාන්තකරැවන් මේ වන විටත් අපට ඉතාම හොඳින් පෙන්වාදීලා තියෙනවා කොහොමද ගෝලීය වෙළඳපල ජයගන්නේ කියලා

    සිංගප්පූරැ ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම, ද්වි පාර්ශවීය වෙළඳාම සහ ආයෝජන සඳහා නීතිමය බැඳීමක් සහ නිශ්චිත රාමුවක් සපයනවා. එය මීට පෙර රටවල් දෙක අතර නොපැවති දෙයක්. මෙම ගිවිසුම හරහා අප රටට අවශ්‍ය කරන විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට හැකිවෙනවා. අපි මෙහිදී තේරැම් ගත යුතු වැදගත් දෙයක් තමයි සෑම වෙළඳ ගිවිසුමක්ම රටවල් දෙකක් අතර ඇති වෙළඳ පරතරය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන්නේ නෑ. ශ්‍රී ලංකාවට ලෝකයේ සමහර රටවල් සමග වෙළඳ අතිරික්තයක් පවතින අතර සමහර රටවල් සමඟ පවතින්නේ වෙළඳ හිඟයක්. ශ්‍රී ලංකාවට විවිධ රටවල් හා වෙළඳ ගිවිසුම් හා එළඹීමට සිදුවන්නේ එකිනෙකට වෙනස් හේතු මත. සමහර වෙළඳ ගිවිසුම් වලට එළඹෙන්නේ
    තීරැබදු සහන ලබාගෙන වෙළඳපල පුලුල් කරගැනීම හරහා අපනයන වර්ධනවය කරගැනීමට. සමහර වෙළඳ ගිවිසුම් වලට එළඹෙන්නේ දේශීය නිෂ්පාදකයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය අඩුමිලට ලබාදීමට. තවත් සමහර වෙළඳ ගිවිසුම් වලට එළඹෙන්නේ විදේශ ආයෝජන වැඩිකරගැනීම සහ ඒ හරහා ගෝලීය වෙළඳපල හා ඇති සම්බන්ධතා වැඩිකරගැනීමේ අරමුණින් . මෙහිදී සිංගප්පූරැව හා වෙළඳ ගිවිසුමකට එළඹීමේ මූලික අරමුණ විදේශ ආයෝජන වැඩිකරගැනීම සහ ඒ හරහා ගෝලීය වෙළඳපල හා ඇති සම්බන්ධතා වැඩිකරගැනීමයි.

    මම මෙය අවස්ථාවක් කර ගන්නවා ශ්‍රී ලංකා - සිංගප්පූරැ වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රකාශ වී තිබෙන මිත්‍යා මත පිළිබඳ සත්‍ය තත්වය පැහැදිලි කරන්න. මෙම ගිවිසුම සම්බන්ධයෙන් එල්ලවන ප්‍රධානම චෝදනාවක් තමයි මෙම ගිවිසුමට කැබිනට් මණ්ඩලයේ අවසරය ලැබුනේ නැහැ කියන එක. මෙය සම්පූර්ණ අසත්‍යයක් බව මම මේ සභාවට ප්‍රකාශ කර සිටිනවා. ගරැ කථානායකතුමනි මෙම ගිවිසුම සම්බන්ධයෙන් සිද්ධවුන සාකච්ඡා වල ප්‍රගතිය පිළිබඳව පළමුවෙන්ම කැබිනට් මණ්ඩලය දැනුවත් කරනු ලැබුවේ 2017 දී කැබිනට් සමණ්ඩලයට ඉදිරිපත් කරන ලද අතුරැ වාර්තාවක් මගින්. මෙම ගිවිසුම අදාල වන ක්ෂේත්‍ර මොනවාද, ගිවිසුම හරහා කොතරම් දුරකට වෙළඳාම ලිහිල් කෙරෙනවාද , අදාල පාර්ශව සමඟ සිදුවන තොරතුරැ විමසීම් හා සාකච්ඡා වල තත්වය කෙසේද යන තොරතුරැ මෙම වාර්තාවේ අන්තර්ගතව තිබුනා. ඉන්පසු 2017 දෙසැම්බර් මස 21 වන දින ගිවිසුමේ කෙටුම්පත ඇතුලත් වන අමාත්‍ය මණ්ඩල සංදේශයක් මා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා. මේ කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිපතිතුමා සහ කැබිනට් ඇමතිවරැ 14 දෙනෙක් ජනවාරි මස 9 වන දින මේ පිළිබඳ ධනාත්මක ප්‍රතිචාර දැක්වනු ලැබුවා. මෙම ප්‍රතිචාර වලට අනුව කෙටුම්පතේ සංශෝධන සිදුකරන ලද අතර එකී සංශෝධිත ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා. ජනවාරි මස 16 වැනි දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී එකී සංශෝධිත ඇතුලත් ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ අතර ජනවාරි 23 වන දින සිංගප්පූරැ අගමැතිතුමාගේ ලංකා සංචාරය අතරතුර ගිවිසුමට අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අවසරය ලබා දුන්නා. එමෙන්ම මම මේ සභාවට පැහැදිලි කල යුතුයි මෙම ගිවිසුම ක්‍රියාත්මක වූයේ ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිපෝලන බදු පනත (Anti-Dumping Act) සහ ආරක්ෂණ පියවර පනත (Safeguard measures Act) සම්මත වීමෙන් පසුවයි. ගිවිසුම බලාත්මක වූයේ මැයි 1 වනදා වන අතර ඒ වන විට ඉහත කී පනත් දෙකම සම්මත වී අවසන්.

    මෑතකදී හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මාධ්‍යයට පවසා තිබුනා ඔහු මෙම වෙළඳ ගිවිසුමට විරුද්ධ බව. එහෙත් ඔහු මෙම ගිවිසුමට එකඟ වී නිරීක්ෂණ ඉදිරිපත් කර කැබිනට් ඇමතිවරු 14 දෙනාගෙන් එක් අයෙක්. ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ එතුමා ලිඛිතව දැනුම් දුන්නා මෙම වෙළඳ ගිවිසුම අත්සන් කරනවාට හෝ ක්‍රියාත්මක කරනවාට ඔහුගේ කිසිම විරැද්ධත්වයක් නැති බව ඔහුගේ වචනවලින්ම කියනවා නම් “ඉහත යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මගේ විරෝධතාවයක් නොමැත “

    එවකට කැබිනට් මණ්ඩලයේ දී මෙම ගිවිසුමට එකඟ වූ ඔහු දැන් ගිවිසුමට විරැද්ධ යැයි කියමින් දේශපාලන වාසි ලබාගන්නට උත්සහ කරනවා. මේක තමයි විපක්ෂයේ තත්වය. කැබිනට් මණ්ඩලයේ ඉද්දී එකක් කියලා ජනතාව රවට්ටන්න වෙන දෙයක් කියනවා.

    අපට එල්ලවන තවත් චෝදනාවක් තමයි මේ ගිවිසුමට එළඹුනේ අදාල පාර්ශ්ව වල අදහස් විමසීමෙන් හෝ ඔවුන් සමඟ සාකච්ඡා කිරීමෙන් තොරව බව. මට මේ සභාවට වගකීමකින් යුතුව ප්‍රකාශ කරන්න පුලුවන් අපි ගිවිසුම පිළිබඳ සාකච්ඡා වල ප්‍රගතිය ගැන සහ වෙළඳ ගිවිසුම යටතේ නිදහස් කිරීමට ඉඩ තිබෙන ක්ෂේත්‍ර පිළිබඳව අදාල පාර්ශවයන් නිරත්තරයෙන් දැනුවත් කල වග. මාස 18 ක් වැනි කාලයක් පුරා ව්‍යාපාර සංවිධාන, වාණිජ මණ්ඩල, වෙළඳ සංගම් සහ වෘත්තීය සංගම් ඇතුලු පාර්ශව රාශියක් සමග සාකච්ඡා වට 20 ක් පමණ පැවැත්වීමට අප කටයුතු කල බව මම වගකීමෙන් ප්‍රකාශ කරනවා.

    ඒ වගේම තවත් පාර්ශව කියා සිටිනවා මෙම ගිවිසුම යලිත් සංශෝධනය කල නොහැකි බව. මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ගිවිසුමේ 17.10 වගන්තිය හරහා අවශ්‍ය විටකදී ගිවිසුමට සංශෝධන හඳුන්වාදීමට අවශ්‍ය කරන ප්‍රතිපාදන සලසා දී තිබෙනවා. එමෙන්ම 17.01 වගන්තිය හරහා ගිවිසුම ක්‍රියාත්මක වන ආකාරය අධීක්ෂණය කිරීමට සමාලෝචනය කිරීමට මෙන්ම අවශ්‍ය කරන සංශෝධන නිර්දේශ කිරීමට ඉහළ මට්ටමේ කමිටුවක් ස්ථාපනය කර තිබෙනවා. මෙම කමිටුවේ ප්‍රථම රැස්වීම ගිවිසුම ක්‍රියාත්මක වී වසරක් ඇතුලත පැවැත්වීමට නියමිතයි. ඉන්පසු යම් නිශ්චිත කාලපරිච්ඡේදයකට වරක් මෙම කමිටුව රැස්වනු ඇති අතර එම කමිටුවාර අතරතුරදී පාර්ශව දෙකෙන් එකකට හෝ පාර්ශව දෙකටම ඇති ගැටලු සාකච්ඡා කර ඒවාට අදාල විසඳුම් ලබාදීමට උත්සහ දරනු ඇති. මීට අමතරව යම් පාර්ශවයකට අවශ්‍ය වූ විටකදී දැනුම්දීමකින් පසු ගිවිසුම අත්හිටුවීම සඳහා ප්‍රතිපාදන 17.12 වගන්තිය හරහා ලබාදී තිබෙනවා. ගිවිසුම අත්හිටවීමට අවශ්‍ය බව දැනුම් දී වසරකට පසු ගිවිසුම අත්හිටුවීම බලපැවැත්වෙනවා.


    මේ ගිවිසුම හරහා සිදුකරණ සේවා නිදහස්කිරීම සම්බන්ධයෙන් විවිධ වැරදි මත පලව තිබෙනවා. මම ඉතාම පැහැදිලිව අවධාරණය කර සිටිනවා මේ ගිවිසුම හරහා ස්වාධීන පුද්ගලයන්ට ලංකාවට පැමිණ තම වෘත්තීන් වල නියැලීමට අදාල ප්‍රතිපාදන ලබාදී නැහැ. මේ පිළිබඳව අපි කීපවරක්ම අවධාරණය කර සිටියා. සිංගප්පූරැවේ පුරවැසියෙක් වන වෛද්‍යවරයෙක්ට,ඉංජිනේරැවරයෙක්ට,ගෘහනිර්මාණ ශිල්පියෙකුට හෝ කිසිම නිදහස් වෘත්තිකයකුට ලංකාවට පැමිණ වෘත්තීය සේවාවන් වල යෙදීමට හැකියාවක් නෑ . සිංගප්පූරැ වෙළඳ ගිවිසුම හරහා සේවා සැපයීමට ලංකාවට පැමිණීමට අවසර ලැබෙන්නේ ලංකාවේ ආයෝජනය කරන සිංගප්පූරැ සමාගමක සේවකයෙක් වශයෙන් පමණයි. මෙසේ පැමිණිය හැක්කේද අදාල සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකාර නිලයක් දරන සේවකයන්ට පමණයි. මෙසේ සිංගප්පූරැ වෙළඳ ගිවිසුම හරහා සිංගප්පූරැ සමාගමක් ලංකාවේ ස්ථාපනය කරන ලද ශාඛාවක සේවකයෙක් ලෙස පැමිණීමට පවා යම් සුදුසුකම් තිබිය යුතුය. එසේ පැමිණෙන සේවකයන් අදාල සමාගමේ වසරක් සේවය කල අය සහ අදාල ක්ෂේත්‍රයේ වසර 5 ක අත්දැකීම් සහිත අය විය යුතුයි. මෙම සුදුසුකම් සපුරන අයට ලංකාවේ ස්ථාපනය කරන ලද සිංගප්පූරැ සමාගමේ වසර දෙකක් සේවය කිරීමට වීසා ලබාදීමට කටයුතු කරන අතර එක් පුද්ගයකුට වීසා ලබාදෙන උපරිම කාලසීමාව වසර 5 ක් වනවා. ඒ අනුව මෙම වෙළඳ ගිවිසුම හරහා ලංකාවට පැමිණීමට ඉඩ ඇති ජ්‍යෙෂ්ඨ කළමණාකරැවකුට ලංකාවේ සේවය කල හැක්කේ වසර 5 කට පමණයි. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි වෙළඳ ගිවිසුම් හරහා ලංකාවට එන සේවා සපයන්නන් සියලු දෙනාම රටේ පවතින ආගමන විගමන නීති වලට යටත් වනවා. ඔවුන්ට සාමාන්‍ය පරිදි ආගමන විගමන නීති බලපාන අතර ආගමන විගමන නීති වලින් කිසිදු නිදහස්කිරීමක් සිදුකර නැහැ. මේ කරැණු අනුව ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙනවා අප මේ ගිවිසුමට එළඹ ඇත්තේ රටට අවාසියක් වීම වැළැක්වීම සඳහා වන කොන්දේසි සහිතව බව. කවුරැන් හෝ කියනවා නම් අප රට ගැන නොසිතා මුලු භාණ්ඩ හා සේවා වෙළඳපලම සිංගප්පූරැවට නිදහස් කර ඇති බව ඒක විශාල බොරැවක්.

    තවත් පාර්ශවන් පවසා සිටිනවා මේ ගිවිසුම හරහා සිංගප්පූරැ ජාතිකයන් නොවන පුද්ගලයන්ට මෙම ගිවිසුම හරහා වාසි ලබාගත හැකි බව. මෙය තවත් කිසිදු පදනමක් නැති අසත්‍ය ප්‍රකාශයක්. ගිවිසුම සිංගප්පූරැ ජාතිකයකු ලෙස නිර්වචනය කරන්නේ සිංගප්පූරැවෙ පුරවැසියෙක් හෝ සිංගප්පූරැවේ ස්ථීර පදිංචිය ලබාගත් පුද්ගලයෙක්. ඔබ අපි හැමෝම දන්න විදිහට සිංගප්පූරැවේ ස්ථීර පදිංචිය ලබාගැනීම ඉතාම අපහසු කටයුත්තක්. එරට විසින් නම් කරන ලද සුදුසුකම් රාශියක් ඇති අයෙකුට පමණයි සිංගප්පූරැව ස්ථීර පදිංචිබාවය ලබා දෙන්නේ. මෙසේ ස්ථීර පදිංචිය ලබාදීමත් ඉතා දීර්ඝ මෙන්ම දැඩි අධීක්ෂණයක් යටතේ සිදුවන ක්‍රියාවලියක්. මෙම ගිවිසුම හරහා සේවා සපයන්නන් ලෙස පැමිණිය හැක්කේ ඉහළ සුදුසුකම් වලින් සහ හැකියාවෙන් යුත් සිංගප්පූරැ ජාතිකයන්ට පමණයි. වෙනත් කිසිදු ජාතිකයකුට මෙම ගිවිසුම හරහා ලංකාවට පැමිණිය නොහැකියි. එබැවින් සමහරක් දේශපාලකයන් හා වෘත්තීය සමිති පවසන පරිදි මෙම වෙළඳ ගිවිසුම හරහා අනෙකුත් ජාතිකයන්ට ලංකාවට ඒමට ඉඩ ලබා දී තිබෙනවා යැයි පැවසීම සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.

    තවත් සමහර පාර්ශව කියා සිටිනවා මෙම ගිවිසුම හරහා කිසිදු සීමාවකින් තොරව වී අනයනය කිරීමට ඉඩ ලබාදී ඇති බව. එහෙත් මෙය සත්‍යතාවයෙන් තොර ප්‍රකාශයක්. එයට හේතුව මම පැහැදිලි කරන්නම්. මෙම ගිවිසුමේ ප්‍රභවස්ථාන නීති (Rule of origin) - (සරල භාෂාවෙන් කියනවා නම් බෙදු සහන ලබාදීමේදී භාණ්ඩයේ නිෂ්පාදනය වන රට සම්බන්ධ‍යෙන් ඇති නීති) පරිච්ඡේදයට අනුව සහල් පිටි සහ මස් මාංශ වැනි කෘෂිකාර්මික නිෂ්පාදන වලට බදු සහන හිමිවීමට නම් එම භාණ්ඩ සම්පූර්ණයෙන්ම සිංගප්පූරැවේ නිපදවන ලද ඒවා විය යුතුයි. මස් මාංශ නම් එම මස් මාංශ නිෂ්පාදනයට යොදාගන්නා සතුන් මුලු ජීවිත කාලයම සිංගප්පූරැවෙ ජීවත් වූ සතුන් විය යුතුයි. වී, කුලුබඩු,පළතුරැ හෝ එලවලු වලට බදු සහන ලබාගැනීමට නම් ඒවා සිංගප්පූරැවෙ නිෂ්පාදනය කල ඒවා විය යුතුයි. සිංගප්පූරැවෙ කුඹුරැ නැහැ. එනිසා කිසිම වී වගා කිරීමක් සිදුවන්නෙත් නෑ. අනෙකුත් භෝග වගාකිරීම හෝ සතුන් ඇතිකිරීමත් සිදු වන්නේම නැති තරම්. එබැවින් සිංගප්පූරැවෙන් තීරැබදු රහිතව වී ආනයනය කිරීමක් මෙම ගිවිසුම හරහා සිදුවන්නට ඉඩකඩක් නෑ.


    සමහරක් අය කියනවා තායිලන්තයේ හෝ පකිස්ථානයේ නිෂ්පාදනය කරන ලද සහල් ශ්‍රී ලංකා - සිංගප්පූරැ වෙළඳ ගිවිසුම හරහා තීරැබදු රහිතව ආනයනය කළ හැකි බව. එහෙත් ප්‍රභවස්ථාන නීති (සරල භාෂාවෙන් කියනවා නම් බෙදු සහන ලබාදීමේදී භාණ්ඩයේ නිෂ්පාදනය වන රට සම්බන්ධ‍යෙන් ඇති නීති) නිසා වෙන රටවල නිපදවන සහල් මෙම වෙළඳ ගිවිසුම හරහා තීරැබදු රහිතව ලංකාවට ආනයනය කල නොහැකි අතර සහල් මෙම ගිවිසුමෙහි නිශේධ ලැයිස්තුවේ අඩංගු කර ඇති බැවින් සහල්
    සින්ගපපුරුවෙන් ආනයනය වීමක් සිදු නොවනු ඇත. එමෙන්ම අනෙකුත් කාර්මික භාණ්ඩ වුවද තීරැ බදු රහිතව ලංකාවට ආනයනය කිරීමේදී ප්‍රභවස්ථාන නීති පරිච්ඡේදය යටතේ සීමා පවා තිබෙනවා. කෘෂිකාර්මික නොවන ඕනෑම භාණ්ඩයක් මෙම ගිවිසුම යටතේ තීරැබදු රහිතව ලංකාවට ආනයනය කිරීමට නම් එම භාණ්ඩයේ මුලු අගයින් 35’% ක් සිංගප්පූරැවේචදි එකතු කල යුතුය. එනම් රැපියල් 100 වටිනා භාණ්ඩයක් වෙළඳ ගිවිසුම යටතේ තීරැබදු රහිතව ලංකාවට ආනයනය කිරීමට නම් රැපියල් 35 කට වැඩි අගය එකතු කිරීමක් සිංගප්පූරුවේදී සිදුවී තිබිය යුතුයි.

    නිතරම කතා කෙරෙන තවත් ගැටලුවක් නම් මෑන්පවර් ඒජන්සි හා ඒවා ස්ථාපනය කිරීමට ගිවිසුම ප්‍රතිපාදන ලබාදීමයි. මෙම ගිවිසුම ක්‍රියාත්මක වුනත් නැතත් සිංගප්පූරැ මෑන්පවර් සමාගමකට මෙහි ශාඛාවක් ස්ථාපනය කිරීමට පවතින නීතියෙන් කිසිම බාධාවක් නෑ. ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් වශයෙන් මැන් පවර් ආයතනයක් ලංකාවේ පිහිටවන්න ඕනෑම විදේශීය සමාගමකට හැකියාව තිබෙනවා. ඒ අනුව මෙම ගිවිසුමට පෙර ද සිංගප්පූරැ සමාගමකට අවශ්‍ය නම් මෑන්පවර් ආයතනයක් ආරම්භ කිරීමට බැරිකමක් තිබුනේ නෑ.


    අනිත් දෙය නම් මෙම ක්ෂේත්‍රය මෝඩ් 4 සඳහා ලිහිල් කර නැහැ. ඒ අනුව ලංකාවේ ස්ථාපනය කරන මෑන් පවර් ආයතනයවලට සේවා විවෘත කරන ලද අනෙකුත් ක්ෂේත්‍ර වලට මෙන් ජ්‍යෙෂ්ඨ කළමනාකරැවන් වත් අදාල රටෙන් බඳවාගත නොහැකියි. ඒ අනුව සිංගප්පූරැ සමාගමකට ලංකාවේ මෑන්පවර් ආයතන ස්ථාපනය කළ හැකි වුවත් කිසිදු සිංගප්පූරැ ජාතිකයෙක් කිසිදු සේවකයෙක් වශයෙන් බඳවාගත නොහැකියි. එසේ විදේශිකයන් බඳවාගැනීමට අවශ්‍ය නම් එම සමාගම දැනට රටේ පවතින ආගමන නීත වලට සහ එම ව්‍යාපාර ක්ෂේත්‍රයට අදාල අමාත්‍යංශයේ අනුමැතිය ඇතුලු ඊට අදාල සියලුම නීති රෙගුලාසි වලට අනුගත වෙමින් එය සිදුකල යුතුය. වෙළඳ ගිවිසුම හරහා මේ සම්බන්ධයෙන් කිසිදු සේවාලිහිල්කරණයක් හෝ නිදහස්කිරීමක් සිදුකර නැහැ.


    මෙම ගිවිසුම සම්බන්ධයෙන් එල්ලවන කිසිම වගකීමකින් තොර චෝදනාවක් තමයි සිංගප්පූරැවේ අපද්‍රව්‍ය ශ්‍රි ලංකාවට බැහැර කිරීමට මෙම ගිවිසුම හරහා ඉඩ ලබාදී ඇති. මම වගකීමෙන් ප්‍රකාශ කරනවා මෙම චෝදනාව සම්පූර්ණ අසත්‍යයක් බව. මෙසේ අපද්‍රව්‍යමය ද්‍රව්‍ය වශයෙන් හඳුන්වන බොහොමයක් භාණ්ඩ දැනටමක් ක්‍රියාත්මක වන ඉන්දු-ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම සහ පකිස්ථාන-ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම යටතේ තීරැබදු රහිතව ආනයනය කිරීමට ඉඩ ලබාදී ඇති ද්‍රව්‍යයි. එහෙත් රටට
    හානිවන අයුරින් මේ භාණ්ඩ ආනයනය කරන බවට කිසිදු පැමිණිල්ලක් හෝ සාක්ෂියක් මේ වනතෙක් ඉදිරිපත්ව නැහැ. සිංගප්පූරැ වෙළඳ ගිවිසුම යටෙත් මෙම ද්‍රව්‍ය තීරැබදු රහිතව ආනයනය කළ හැකි
    වුවත් සාමාන්‍යයෙන් මෙම භාණ්ඩ ආනයනයේ ලබාගැනීමට අවශ්‍ය කරන ආනයන බලපත්‍ර සිංගප්පූරැවෙන් ආනයනය කරද්දීත් ලබාගත යුතුයි. එමෙන්ම එකී ද්‍රව්‍ය ආනයනය කිරීමේදී අවශ්‍ය කරන තත්ව සහතික සමාන්‍ය ආකාරයෙන්ම ලබාගත යුතුයි. ඊට අමතරව මෙම ද්‍රව්‍ය ආනයනය කිරීමේදී මිනිසුන්, සතුන් මෙන්ම ශාක ආරක්ෂා කිරීම උදෙසා පනවා ඇති නීති රෙගුලාසි ඒ අකාරයෙන්ම ක්‍රියාත්මක
    වෙනවා.

    මීට අමතරව ශ්‍රී ලංකාව 1994 ගැට් සම්මුතියේ 20 වන වගන්තියට අනුව මිනිස් හෝ සත්ව ජීවිත සහ ශාක ආරක්ෂා කිරීම සඳහා පියවර ගැනීමට ශ්‍රි ලංකාවට හැකියාව පවතින අතර ගිවිසුමේ 17.7 වගන්තිය වන සාමාන්‍ය නිදහස්කිරීම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා තිබෙනවා. එමනිසා අවශ්‍ය විටකදී පරිසරය සුරකීම උදෙසා වන නීති රෙගුලාසි හඳුන්වාදීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබෙනවා. තවද මෙම ගිවිසුම හරහා රටවල් අතර අපද්‍රව්‍ය හුවමාරැව පාලනය කිරීමේ අරමුණින් සම්මත කරන
    ලද බේසල් ප්‍රඥප්තිය ඇතුලු ජාත්‍යන්තර පරිසර ප්‍රඥප්ති වලින් ලබාදී ඇති අයිතීන් වලට කිසිදු බලපෑමක් සිදුවන්නේ නැහැ. ඕනෑම ආනයනයකදී සාමාන්‍යයෙන් අදාල වන පරිසර නීති සහ රෙගුලාසි ඒ අයුරින්ම ක්‍රියාත්මක වෙනවා.

    මම මේ සභාවට ප්‍රකාශ කර සිටින්න කැමතිය අප මෙම වෙළඳ ගිවිසුමට එළඹුනේ රටට අවාසිදායක නොයන අයුරින් බව. සිංගප්පූරැව අනෙක් රටවල් සමග පවතින වෙළඳ ගිවිසුම් වලදී එම රටවල් 90% භාණ්ඩ වර්ග වල තීරැබදු ඉවත් කිරිමට එකඟ වී තිබෙනවා. එහෙත් අපි එකඟ වූයේ භාණ්ඩ වර්ග 80% ක තීරැබදු ඉවත් කිරීමට පමණයි. ඒ අනුව භාණ්ඩ වර්ග 20% ක් එනම් භාණ්ඩ 1487 ආනයනය කිරීමේදී පෙර පරිදිම තීරැබදු අයකෙරෙනවා. අප මෙම භබාණ්ඩ වල තීරැබදු ඉවත් නොකිරීමට තීරණය කලේ රාජ්‍ය ආදායමට සිදුවන බලපෑම සහ දේශීය නිෂ්පාදකයන්ට වන බලපෑම අවම කිරීමේ අරමුණින් . ඒ අනුව පාවහන්, බිස්කට් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ඇතුලු දේශීය කර්මාන්ත වලට අහිතකර බලපෑමක් එල්ල කලහැකි යැයි සිතන භාණ්ඩ වලට ඇති තීරැබදු මෙම ගිවිසුම හරහා ඉවත්කර නැහැ. එම භාණ්ඩ ගිවිසුමේ නිශේධන ලැයිස්තුවේ ඇතුලත්ව තිබෙනවා. මෙම ගිවිසුම සකස්කොට ඇත්තේ රාජ්‍ය ආදායමට සහ දේශීය කර්මාන්ත වලට අවම බලපෑමක් සිදුවන ආකාරයෙන්. ඉහළ තීරැබදු ආදායමක් ලැබෙන භාණ්ඩ ද නිශේධන ලැයිස්තුවට ඇතුලත් කර තිබෙනවා. එනම් වැඩි තීරැබදු අදායමක් ලැබෙන භාණ්ඩ වල තීරැබදු ඉවත්කිරීමක් මෙම ගිවිසුම හරහා සිදුවන්නේ නැහැ. ඒ අනුව 97.8% තීරුබදු ආදායම් සුරක්ෂිත කොට ඇත. අනෙක් කරැණ තමයි ආනයනය භාණ්ඩ වර්ග 80% ක තීරැබදු ඉවත් කරනවා කීවත් සිදුවන්නේ නෑ. එය සිදුවන්නේ කොටසින් කොටස. ඒ අනුව ගිවිසුම යටතේ ලබාදෙන සියලුම තීරැබදු නිදහස්කිරීම් සම්පූර්ණ වීමට වසර 12-15 ක කාලයක් ගතවෙනවා.

    මෙම කරැණ තවදුරටත් සනාථ කිරීමට මම දත්ත ගෙහැර දක්වන්න කැමතියි. පසුගිය වසරේ සිංගප්පූරැවෙන් ආනයනය කරන ලද භාණන්ඩ වලින් ලද තීරැබදු ආදායම රැපියල් බිලියන 35 ක්. මෙම වෙළඳ ගිවිසුමට එළඹීම හරහා ඉදිරි වසර 15 ටම රජයට අහිමි වන ආදායම රැපියල් මිලියන 773 ක්. ඒ අනුව මෙම ගිවිසුමේ ඇති තීරැබදු නිදහස් කිරීම් නිසා වසරකට රජයට අහිමිවන සාමාන්‍ය දළ අගය රැපියල් මිලියන 51 ක් පමණි. එනම් මෙම ගිවිසුම නිසා රජයට අහිමිවෙන ආදායම සිංගප්පූවෙන් ආනයනය කරන භාණ්ඩ වලින් ලැබෙන තීරැබදු ආදායමෙන් 0.14% ක් පමණයි. එබැවින් කවුරැහරි කියනවා නම් සිංගප්පූරැ වෙළඳ ගිවිසුම නිසා රජයට විශාල ආදායම් අහිමිවෙන බව ඒ පුද්ගයන්ට මූලික ගණිතය වත් තේරෙන්නේ නැති බව තමයි කියන්න තියෙන්නේ

    ගරු කතානායකතුමනි

    අවසාන වශයෙන් මම මේ සභාවේ මන්ත්‍රීවරැන්ගෙන් ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකා - සිංගප්පූරැ වෙළඳ ගිවිසුම පිළිබඳ කිසිදු පදනමකින් තොර අසත්‍ය ප්‍රකාශ කර ජනතාව නොමග යැවීමෙන් වැළකී සිටින ලෙස. කරැණාකර මෙම ගිවිසුම දේශපාලන වාසි ලබාගැනීමට සහ ඔබලාගේ දේශපාලන පැවැත්ම පවත්වාගැනීමට භාවිතා කරන්නට එපා.

    මෙහිදී අප අවදානය යොමු කළ යුත්තේ අපේ තරැණ පරපුරේ අනාගතය ගැන ඊලඟ පරම්පරාව වෙනුවෙන් අපිට බිහිකල හැකි රැකියා ගැන නව ව්‍යවසායකයන් බිහිකිරීම ගැන. අපි සිතා බැලිය යුතුයි අපේ තරැණ පරපුර අනාගතයේ ජීවත් වන්නේ රැකියා කරන්නේ කුමන ආකාරයේ රටකද කියන එක. අපි තීරණය කල යුතුයි අපේ තරැණ පරපුර වගේම ඊළඟ පරම්පරාව ජීවත් විය යුත්තේ දේහීය වෙළඳපල ගැන පමණක් අවදානය යොමුකරන හුදකලා වූ රටකද එහෙමත් නැත්නම් ගෝලීය වෙළඳපල හා සම්බන්ධවුන සේවාවන් සඳහා ඉහළ වැටුපක් ලැබෙන රටකද බව.

    වර්තමාන ලෝකයේ සිද්ධවන සීඝ්‍ර තාක්ෂණික දියුණුව හා සාපේක්ෂව රටවල් අතර වෙළඳාම සිදුවන ආකාරය සහ ආර්ථික සම්බන්ධතාවල ස්වභාවය සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. භාණ්ඩ වෙළඳාම සේවා වෙළඳාමේ වැදගත්බව ඉහළ ගොස් ඇති අතර එය වඩාත් ප්‍රචලිත වී තිබෙනවා. අන්තර්ජාලයේ පැතිරීම් සමඟ සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට හැකිව තිබෙනවා ඉලෙක්ට්‍රොනික් වාණිජ්‍ය (E- commerce) හරහා ජාත්‍යන්තර වෙළඳපලවල් හා සම්බන්ධ වීමට. මෙවැනි තත්වයක් තුල අපි කලාපයේ රටවල් සමඟ හොඳ ආර්ථික සම්බන්ධතා ඇතිකර ගත යුතුයි. එසේ නැතහොත් ගෝලීය ආර්ථික වෙනස්වීම් වලට හුරැ නොවී රටක් වශයෙන් පසුපසට යාමට සූදානම් විය යුතුයි.

    මෙම ගිවිසුමට එළඹීම නිසා දැනටමත් අපට විදේශ ආයෝජන සම්බන්ධයෙන් යෝජනා රාශියක් ලැබී තිබෙනවා. පසුගිය මාස දෙකහමාර ඇතුලතදී පමණක් බිලියන 16 කට වඩා වැඩි සෘජු ආයෝජන සඳහා වන යෝජනා සිංගප්පූරැ සමාගම් වලින් ලැබී තිබෙනවා. ඉන් ප්‍රධානම යෝජනාව වන්නේ අපනයන අරමුණු කරගත් තෙල් පිරිපහදුවක් ස්ථාපනය කිරීම සඳහා ලැබුනු ඩොලර් බිලියන 14.8 ක් වටිනා ආයෝජනයක් සම්බන්ධයෙන් වන යෝජනාවයි. ඊට අමතරව ඩොලර් බිලියනක් වටිනා ආයෝජනයක් වන අපනයනය සඳහා වානේ නිපදවන කර්මාන්තශාලාවක් සඳහා වන ආයෝජනයක්, ඩොලර් මිලියන 50 ක ආයෝජනයක් වන තිරිඟු පිටි කර්මාන්තශාලාවක්, සහ ඩොලර් මිලියන 200 ක් වටිනා සීනි පිරිපහදුවක් සඳහා වන ආයෝජනාවක් සඳහා ද යෝජනා අප වෙත ලැබී තිබෙනවා. මේ සියල්ල එක් කල විට ඩොලර් බිලියන 16 කට වඩා වටින සෘජු විදේශ ආයෝජන සම්බන්ධයෙන් වන යෝජනා අපට ලැබී තිබෙනවා. මේ ආයෝජන ව්‍යාපෘති දහස් ගණනක් ලාංකිකයන්ට රැකියා ලබාගැනීමට මෙන්ම රටේ අපනයන ඉහළ නැංවීමට ද දායක වනු ඇති. මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමට අවශ්‍ය මූලික අවසරය ආයෝජන මණ්ඩලය විසින් ලබා දී ඇති අතර ව්‍යාපෘතියට අවශ්‍ය කරන ඉඩම් නිදහස්වූ පසු හා පරිසර නීති වලට අනුකූල බවට වන අවසරය ලැබීමෙන් පසු මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමට ව්‍යාපාරිකයන්ට පුලුවන්. මම විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා තම වාසියට, පටු විදිහට හිතන එක නවත්තලා, රට සංවර්ධනය කිරීමට එක්වෙන්න කියලා. අපි සැම විටම සලකාබැලිය යුත්තේ රටක් වශයෙන් මුලු ප්‍රජාවටම හොඳක් සිදුවන දේ මිසක් සුලු පිරිසකට වාසි අත්වන දේ නෙවෙයි. අපිට වගකීමක් තියෙනවා නිශ්චිත අවස්ථාවේදී නොසැලී, නොබියව අවශ්‍ය කරන තීරණ අරගෙන රටේ ජනතාවගේ ජීවන තත්වය උසස් කරන්න කටයුතු කරන්න.

    ස්තූතියි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya