Walk for Peace සාම පාගමනට සියල්ල සූදානම් - ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති ස්වාමීන්වහන්සේ

Walk for Peace සාම පාගමනට සියල්ල සූදානම් - ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති ස්වාමීන්වහන්සේ
  • SocialShare:

Walk for Peace සාම පාගමන අප්‍රේල් මස 21 වැනි දින සිට 28වැනි දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් මෙම පාගමන සඳහා සහභාගී වන පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ ප්‍රධාන භික්ෂූන් වහන්සේලා කණ්ඩායම 21 වැනි දින දිවයිනට වැඩම කිරීමෙන් අනතුරුව අත්තනගල්ල රාජමහා විහාරයට වැඩම කරන බවත් පූජ්‍ය ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති ස්වාමීන්වහන්සේ පැවසූහ.

ඉන් අනතුරුව අනුරාධපුරය ශ්‍රී මහා බෝධිය අභියසදී බෝධි අංකුරය ලබා ගෙන පා ගමනින් රුවන්මැලි සෑ පුදබිමට වැඩම කෙරෙන ස්වාමීන්වහන්සේලා දඹුල්ල රාජමහා විහාරයට වැඩම කිරීමට නියමිත බව උන්වහන්සේ සඳහන් කළහ.
අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට වැඩම කරවූ අවස්ථාවේදී විමලකිත්ති ස්වාමීන්වහන්සේ මේ බව පැවසූහ.
ඒ අනුව මෙම සාම පාගමන 22 වැනි දින දඹුල්ලේ සිට මාතලේ දක්වා ආරම්භ කෙරෙන අතර 23 වැනි දින මාතලේ සිට මහනුවර දක්වා ත් 24 වැනි දින දළදා මාළිගාව අභියසින් නැවත ගමන් ආරම්භ කිරීමට නියමිත බව උන්වහන්සේ සඳහන් කළහ.මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වන අතර ස්වාමීන්වහන්සේලා කඩුගන්නාව හරහා බෙලිගම්මන රාජමහා විහාරස්ථානයට ළඟා වීමට නියමිත වේ.
ඉන් අනතුරුව 25 වැනි දින කෑගල්ලට වැඩම කෙරෙන ස්වාමීන්වහන්සේලා කණ්ඩායම 26 වැනි දින කජුගම හරහා යක්කලට වැඩම කරන අතර 27වැනි දින මහර හරහා කැලණිය රාජමහා විහාරස්ථානයට වැඩම කෙරෙන බව උන්වහන්සේ පැවසූහ.
28 වැනි දිනෙන් පාගමන අවසන් බව පෙන්වා දුන් විමලකිත්ති ස්වාමීන් වහන්සේ , එදිනට කැලණිය රාජමහා විහාරස්ථානයේදී එම භික්ෂූන්වහන්සේලා මුණගැසීමට ජනනතාවට අවස්ථාව සැළසෙන අතර ඒ සඳහා සහභාගී වන ලෙස උන්වහන්සේ ජනතාවට ආරාධනා කළහ.එසේම එදින සවස නිදහස් චතුරස්‍රයට එම ස්වාමීන්වහන්සේලා වැඩම කිරීමෙන් අනතුරුව ජාතික උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත වේ.
මෙම භික්ෂූන්වහස්සේලා කණ්ඩායම මැයි මස 01 වැනි දින දක්වා දිවයිනේ වැඩ සිටින අතර එදින බුද්ධ ශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ප්‍රධාන දූත පිරිස සමග ධාතූන්වහන්සේලා සහ ශ්‍රී මහා බෝධි අංකුරය ඇමරිකාව බලා වැඩම කෙරෙන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.