“ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” (Primary Healthcare System Enhancing Project - PHSEP) මගින් පළාත් සභා නවයට රුපියල් මිලියන 3,600ක මුදලක් ලබා දීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ පළාත් සභා අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා කොළඹදී සිදු විය.
මෙම ගිවිසුමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් එම අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් (ඉංජිනේරු) සාලින්ද බණ්ඩාර, අධ්‍යක්ෂ (ප්‍රාථමික සත්කාර) විශේෂඥ වෛද්‍ය සරත්චන්ද්‍ර කුමාරවංශ යන මහත්වරුන් අත්සන් තැබූ අතර, පළාත් සභා වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම්වරු, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු (ඉංජිනේරු) සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු අත්සන් තැබූහ.
මධ්‍යම, නැගෙනහිර, උතුරු මැද, වයඹ, උතුරු, සබරගමුව, දකුණ, ඌව සහ බස්නාහිර යන පළාත් සභාවලට එක් පළාත් සභාවකට වර්ෂයකට රුපියල් මිලියන 400 බැගින් ලබා දීමට මෙලෙස ගිවිසුම් ගත විය.
මෙම ව්‍යාපෘතිය යටතේ මෙරට ස්ථාපිත ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකක සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 1,700කට ආසන්න සංඛ්‍යාවක භෞතික සම්පත් වැඩිදියුණු කිරීමට නියමිතය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ පළාත් සභා අතර අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කරමින් වඩාත් විධිමත් සහ කාර්යක්ෂම ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
පළාත් සභාවල නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු (ඉංජිනේරු) මෙම ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික සහාය ලබාදෙන අතර, මූල්‍යමය සහාය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් මහතා, ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය (ඉංජිනේරු) ලලිත් ලියනගේ මහතා ඇතුළු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් (ඉංජිනේරු), පළාත් සෞඛ්‍ය ලේකම්වරුන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


