නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට සිදුකළ නිල සංචාරයක් අතරතුර, ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජයන්ත ජයසූරිය මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකා එක්සත් ජනපදයේ නිත්‍ය නියෝජිත Michael G. Waltz මහතා සමඟ පසුගියදා (23) සාකච්ඡාවක නිරත විය.
මෙම සාකච්ඡාවේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක සහ සාමය ගොඩනැගීමේ මෙහෙයුම් සඳහා පවතින සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ අවධානය යොමු වූ අතර, විශේෂයෙන්ම හයිටි රාජ්‍යයේ ක්‍රියාත්මක ‘කල්ලි මර්දන බලකාය’ (Gang Suppression Force - GSF) සඳහා ශ්‍රී ලංකාවේ අනාගත දායකත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ කැපවීම Waltz මහතාගේ ඇගයීමට ලක් වූ අතර, ඒ සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගය ද ඔහු යළි තහවුරු කළේය.
Multi-Role Logistics, Maritime Small Boat සහ Maritime Task Force වැනි විශේෂ ඒකක ඇතුළුව අතිරේක ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම් යෙදවීමේ අවස්ථා පිළිබඳව ද මෙහිදී සොයා බැලීය. බලකා මූලස්ථාන විධිවිධාන, ඵලදායී සම්බන්ධීකරණ යාන්ත්‍රණ සහ අණ හා මාණ්ඩලික (Command & Staff) තනතුරු සඳහා ශ්‍රී ලංකා නිලධාරීන් ඇතුළත් කිරීම සම්බන්ධ කරුණු ද මෙහිදී සාකච්ඡා විය.
වැරදි තොරතුරු ප්‍රචාරණය මැඩපැවැත්වීම, ජාත්‍යන්තර මානව හිමිකම් හා මානුෂීය ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කිරීම මෙන්ම සේවයේ යොදවන පිරිස් සඳහා පරීක්ෂණ හා පුහුණු ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම පිළිබඳව ද වැඩිදුරටත් අවධානය යොමු විය.
සියලු විදේශීය මෙහෙයුම්වලදී ඉහළම මට්ටමේ විනයක් හා වෘත්තීයභාවයක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.


