රක්නා ආරක්ෂක ලංකා සමාගමෙන් රු. මිලියන 111ක ලාභාංශ මහා භාණ්ඩාගාරයට – ශුද්ධ ලාභය 74%කින් ඉහළට

රක්නා ආරක්ෂක ලංකා සමාගමෙන් රු. මිලියන 111ක ලාභාංශ මහා භාණ්ඩාගාරයට – ශුද්ධ ලාභය 74%කින් ඉහළට
  • SocialShare:

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජය සතු ප්‍රමුඛ ව්‍යවසායයක් වන රක්නා ආරක්ෂක ලංකා සමාගම (RALL) 2024/2025 මූල්‍ය වර්ෂය සඳහා උපයාගත් ලාභයෙන් රුපියල් 111,110,014ක ලාභාංශ මුදලක් පසුගියදා ( 23) මහා භාණ්ඩාගාරයට නිල වශයෙන් ප්‍රදානය කරන ලදි.

අදාළ චෙක්පත සමාගමේ සභාපති බ්‍රිගේඩියර් ජූඩ් ප්‍රනාන්දු (විශ්‍රාමික) විසින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර වෙත කොළඹදී භාර දෙන ලදි. අනතුරුව එය රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් දනීෂා ජයදේව මහත්මිය වෙත පිරිනැමිම සිදු විය.

සමාගම් ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙතරම් විශාල ලාභාංශ මුදලක් පූර්ණ වශයෙන් රජය වෙත ලබාදීම විශේෂ සන්ධිස්ථානයක් වන අතර, පසුගිය වසරට සාපේක්ෂව සමාගමේ ශුද්ධ ලාභය සියයට 74කින් ඉහළ යාම ද මෙහිදී කැපී පෙනුණි.

2006 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම සමාගම වර්තමානයේ 3,750කට අධික පුහුණු ලත් කාර්ය මණ්ඩලයකින් සමන්විත වන අතර, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන 600කට අධික සංඛ්‍යාවකට ආරක්ෂක සේවාවන් සපයයි. තවද, සමුද්‍ර ආරක්ෂක සේවාවන් සපයන රජය සතු ප්‍රධාන ආයතනයක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමක් ද සමාගමට හිමිව ඇත.

ආරක්ෂක සේවාවන්ට අමතරව, විශේෂ නිපුණතා සේවා, පිරිසිදු කිරීමේ සේවා සහ සමාජ සුභසාධන වැඩසටහන් මගින් ද සමාගම සිය සේවා පරාසය පුළුල් කරගෙන යමින් පවතී.

මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, රජය සතු ව්‍යවසායයක් ලෙස ලාභ ලබමින් ජාතික ආර්ථිකයට දායක වීම ප්‍රශංසනීය කරුණක් බවයි. සමාගමේ කාර්යක්ෂම කළමනාකරණය සහ කාර්ය මණ්ඩලයේ කැපවීම මෙම ජයග්‍රහණයට මූලික හේතුව බවද ඔහු පැවසීය.

මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ සහ රක්නා ආරක්ෂක ලංකා සමාගමේ නිලධාරීහු ද එක්ව සිටියහ.