අඩු ආදායම්ලාභී පවුල් 13කට නිවාස ඉදිකිරීමට ආධාර චෙක්පත් ප්‍රදානය කෙරේ

අඩු ආදායම්ලාභී පවුල් 13කට නිවාස ඉදිකිරීමට ආධාර චෙක්පත් ප්‍රදානය කෙරේ
  • SocialShare:

“ජාතික නිවාස වැඩසටහන - 2026” යටතේ මොරටුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 13කට රුපියල් ලක්ෂ 10ක් වටිනා නිවසක් ඉදිකිරීම වෙනුවෙන් මූලික ගෙවීමක් වශයෙන් රුපියල් ලක්ෂය බැගින් චෙක්පත් ප්‍රදානය කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) සිදු විය.

මෙම ජාතික වැඩසටහන රටපුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 13,347ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ තවත් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම අවස්ථාවේදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ, දුප්පත්කම අවම කිරීම රජයේ ප්‍රධාන ප්‍රතිපත්තියක් වන බවයි. එය පැල්පත් ඉවත් කිරීමක් නොව ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමක් බවත් ජනතාවගෙන් එකතු කරන බදු මුදල් නැවතත් ජනතාවගේ සුභසාධනය සඳහා යොදවීම රජයේ වගකීමක් බවද පැවසීය.

පසුගිය වසරේ මෙවැනිම වැඩසටහනක් යටතේ නිවාස 11ක් සංවර්ධනය කර ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය. නිවාස ඉදිකිරීම සඳහා රජය ලබාදෙන මුදල් ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී ප්‍රතිලාභීන් ද සමාජ සහයෝගය ලබාගෙන ඉදිකිරීම් කටයුතු සාර්ථක කරගත යුතු බවටද ඔහු ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට මොරටුව නගරාධිපති නිශාන්ත ප්‍රනාන්දු මහතා, මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්), ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහකාර ඉංජිනේරු ජී.එම්.එස්. නිශාන්ත මහතා ඇතුළු නිලධාරීන් සහ ප්‍රතිලාභී පවුල්වල සාමාජිකයින් සහභාගී වූහ.