ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කෙරේ

ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කෙරේ
  • SocialShare:

ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ නව පර්යේෂණ මධ්‍යස්ථානය ඊයේ (09) බස්නාහිර පළාත භාර ජ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

ශ්‍රී ලංකා පොලිස් සේවයේ 160 වන පොලිස් දිනයට සමගාමීව මෙම විවෘත කිරීම සංවිධානය කර තිබූ අතර, පොලිස් සේවය තුළ විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමවේද හඳුන්වාදීම මෙහි ප්‍රධාන අරමුණක් වේ.

නිලධාරීන්ගේ විමර්ශන හා තාර්කික කුසලතා ජාත්‍යන්තර මට්ටමට ඉහළ නැංවීම සහ විශ්වවිද්‍යාල හා විද්වතුන් සමඟ එක්ව අපරාධ විද්‍යාව සහ ප්‍රජා පොලිස් සේවාව පිළිබඳ නව දැනුම නිර්මාණය කිරීමද මෙම මධ්‍යස්ථානය මඟින් සිදු කිරීමට නියමිතය.

මෙම පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම, ශ්‍රී ලංකා පොලිස් සේවය නවීන ලෝකයට ගැළපෙන වෘත්තීය හා බුද්ධිමය සේවාවක් බවට පරිවර්තනය කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ. එය පොලිස් අභ්‍යාස ආයතනයේ අනාගත සංවර්ධනයටත්, සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ ගුණාත්මක වර්ධනයටත් සෘජුවම දායක වනු ඇත.

එම අවස්ථාවට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රොහාන් අබේවර්ධන මහතා, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.