මෙම දිනවල මෙරට පවත්නා අධික රස්නය හේතුවෙන් සෞඛ්‍ය ගැටලු රැසක් ඇතිවී ඇතැයිද, එම තත්ත්ව මගහරවා ගැනීමට හැකි තරම් නිරන්තරයෙන් ජලය පානය කරන ලෙසද සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිසර සෞඛ්‍ය වෘත්තීය සේවා සෞඛ්‍ය සහ ආහාර ආරක්ෂණ අධ්‍යක්ෂ වෛද්‍ය චාන්දනී විතාන මහත්මිය සඳහන් කරයි.
වෛද්‍ය චාන්දනී විතාන මහත්මිය මේ බව සඳහන් කළේ අද (19) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.
මෙම දිනවල පවත්නා අධික රස්නය හමුවේ පරිසරයට නිරාවරණය වීමෙන් ළමයින්ට සහ වැඩිහිටියන්ට විජලන තත්ත්වයන් ඇතිවිය හැකි බවද, විජලන තත්ත්වය ආශ්‍රිතව බොහෝ සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි යැයිද වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
හෘද රෝග, වකුගඩු රෝග සහ ශ්වසන රෝග ඇති අයට එම රෝග වල වැඩි වීමක් දැකිය හැකි බවද, විජලනය නිසා හෘද ස්පන්දනය වැඩිවීම, රුධිර පීඩනය ඉහල යාම වැනි තත්ත්ව ඇතිවිය හැකි බවද අවධාරණය කළාය. නිරන්තරයෙන් හැකි පමණ ජලය පානය කිරීම මෙයට විසඳුමක් බවද, එළිමහනේ ගතකරන කාලය යම් තරමකට අඩුකළ යුතු බවද පෙන්වා දුන්නාය.
රස්නයට ඔරොත්තු වන ඇඳුම් භාවිතා කිරීම වැදගත් බවද, මෙහිදී කපු ඇඳුම් භාවිතය යෝග්‍ය බවද පැවසුවාය. ශරීරය උවමනාවට වඩා ආවරණය කිරීම සහ තද පැහැති ඇඳුම් භාවිතයෙන් රස්නය වැඩිවන බවද සඳහන් කළාය. අධික රස්නයට විශාල කාලයක් නිරාවරණය වීමෙන් තවත් බරපතල ප්‍රශ්න ඇතිවිය හැකි යැයිද පැවසුවාය.
අධික රස්නය හේතුවෙන් අවයව විනාශ වීම් සහ බරපතල රෝග ඇති අයට අහිතකර තත්ත්වයන් ඇතිවිය හැකි බවද වැඩිදුරටත් සඳහන් කළාය.