ජනතාවට ගුණාත්මක මහජන සෞඛ්‍ය සේවාවක් ලබාදීමට මහජන සෞඛ්‍ය ඩිප්ලෝමාධාරීන් 187 ක්

ජනතාවට ගුණාත්මක මහජන සෞඛ්‍ය සේවාවක් ලබාදීමට  මහජන සෞඛ්‍ය  ඩිප්ලෝමාධාරීන් 187 ක්
  • SocialShare:

මහජන සෞඛ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථක ව නිමකරන ලද මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පින් 46 දෙනෙකුට සහ මහජන සෞඛ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථක ව නිමකරන ලද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 141 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතන  ශ්‍රවණාගාරයේ දී සිදුවිය.

පසුගිය කාලය තුළ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අප අත්පත් කර ගත් දියුණුවට වඩා ඉහළ  දියුණුවක්  ඉදිරි වසර කිහිපය තුළ දී අත්පත් කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ඉලක්කය වී ඇති බවත්, එම ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රාජකාරියේ නිරත පිරිස් ඉදිරි සැලසුම් නිසි ඉලක්කයකින්, නිසි කාල රාමුවකට ක්‍රියාත්මක කිරීම සඳහා දැඩි කැපවීමකින් යුතුව රාජකාරියෙන් ඔබ්බට ගිය සේවාවක් ලබාදීමට අධිෂ්ඨාන කරගත යුතු බව  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

මෙරට සෞඛ්‍ය සේවාවේ වැදගත‍් ම කොටස ලෙස  මහජන සෞඛ්‍ය සේවාව  සලකන බව මෙහි දී සිහිපත් කළ අමාත්‍යවරයා  මේ වන විට ලක්ෂ එක හමාරක බලඇණියක් සෞඛ්‍ය සේවාවේ රාජකාරිවල නිරතවන  බව ද, ඒ සියලු දෙනා  දැනුවත් ව එක් අරමුණකින්  සේවය කළහොත්  පමණක් අපේක්ෂිත ඉලක්ක වෙත ළඟාවෙමින්  විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබා දීමට හැකිවන බව ද පැවසී ය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රාජකාරිවල නිරත සියලු දෙනාට එක පවුලක් ලෙස  තිබෙන පහසුකම් කළමනාකරණය කර ගනිමින් සේවාවන් සැපයිය යුතු බව ද මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා ආර්ථිකය ගොඩනැගීම සඳහා  සෞඛ්‍ය සේවාව  වැදගත්වන බවත්, සෞඛ්‍ය සේවාව ගොඩනැගීමට ආර්ථිකය ද වැදගත්වන බව ද  වැඩිදුරටත් සඳහන් කළේ ය.

මෙරට  සෞඛ්‍ය සේවාව දියුණු කිරීමට  පවතින හොඳම පදනම ඊට දීර්ඝ ඉතිහාසයක් පැවතීම බව ද, ආසියානු කලාපයේ සෞඛ්‍ය දර්ශකයන් විමර්ශනයේ දී ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව ද අමාත්‍යවරයා පත්වීම්ලාභින් හමුවේ වැඩිදුරටත් පැවසී ය.

මහජන සෞඛ්‍ය පිළිබඳව  සිහිපත් කරන විට ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සහ කළුතර දිස්ත්‍රික්කය අමතක කිරීමට නොහැකි බවත්, මහජන සෞඛ්‍ය  පිළිබඳ ආයතනයක් මෙරට ප්‍රථම වරට ස්ථාපිත වූයේ 1926 වර්ෂයේ කළුතර දිස්ත්‍රික්කයේ දී බව ද, එය මේ වන විට වසර සියයකට ආසන්න දීර්ඝ ඉතිහාසයක් සතුවන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේ ය. 

මෙරට පාලනය කළ පසුගිය රජයන් ගණානාවක් ද්විතීයික සහ තෘතීයික සෞඛ්‍ය සේවාව  බලාත්මක කිරීම සඳහා  කටයුතු කර තිබෙන බව ද,  එම ගමන්මග තුළ පවතින අඩුපාඩු නිවැරදි කර ගනිමින් මෙරට ජනතාවට මහජන සෞඛ්‍ය සේවාව මෙන් ම ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ද ශක්තිමත් කරමින්  ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩ ව ලබා දීම නව රජයේ ප්‍රධාන අපේක්ෂා බව ද තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසී ය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කලුබෝවිල, සෞඛ්‍ය අමාතාංශයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දිනිප්‍රිය හේරත්,  අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත රණසිංහ, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.