අවයව දන් දීමේ ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකය මගින් සංවිධානය කළ විශේෂ වැඩසටහනක් පෙබරවාරි 18 වන දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී පැවැත්විණි.
සෑම වසරකම පෙබරවාරි 18 වන දින අවයව දන් දීමේ ජාතික දිනය සමරනු ලබන අතර එය මෙවර 7 වන වරට සංවිධානය කර තිබුණි.
මෙහිදී රෝහල් පරිශ්‍රයේ අවයව දායකයින් සිහිකිරීම පිණිස නිමවා තිබූ පලකයට
අග්‍රාමාත්‍යතුමිය පහනක් දල්වමින් තම උත්තමාචාරය පිරිනැමුවාය.
මෙහිදී සභාව ඇමතු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
"ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අවයව දන් දීමේ ජාතික දිනය වෙනුවෙන් සංවිධානය කර ඇති මෙම වැඩසටහන පිළිබඳව මම රෝහලට ස්තූතිවන්ත වෙනවා. මෙම අවස්ථාව අවයව දන් දී බලාපොරොත්තු රහිතව ජීවත් වූ පවුල්වල සාමාජිකයන්ට ලබා දුන් අස්වැසිල්ලක්. මෙම අවස්ථාව ඔවුන්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට කෘතගුණ සැලකීමේ අවස්ථාවක් කර ගැනීමට මම කැමතියි.
ජීවත් කර ගැනීමට නොහැකි රෝගියාගේ අවයව ජීවිතය ඉල්ලන රෝගියෙකුට ලබාදීම ඉතාමත්ම මානුෂීය ක්‍රියාවක්. මොළය මියගිය පුද්ගලයෙකුට තවත් ජීවිත අටක් ජීවත් කරන්න පුලුවන්.
ජීවත් කරවීමට අපහසු රෝගියාගේ අවයව, තවත් කෙනෙකුට පරිත්‍යාග කිරීම ගැන එම පවුල්වල සාමාජිකයන්ට ඉතාම කෘතවේදීව සැලකිය යුතුයි. එවැනි අතිශයින්ම ඥානාන්විත සහ කරුණාවන්ත තීරණ ගැනීමේ ශක්තිය ඒ පවුල් වලට ලැබීම ගැන මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. ඔබගේ පරාර්ථකාමීත්වය තුළින් ජීවිත ගණනාවක් ජීවත් කිරීමට හැකි වුණා. ඒ පිළිබඳව ඔබට ඇත්ත වශයෙන්ම සතුටු වෙන්න පුළුවන්. ඒ හරහා ඔබෙන් වෙන්වන පුද්ගලයන් තවත් කාලයක් ජීවතුන් අතර ඉන්නවා කියන හැඟීම ඇති කරගන්න පුළුවන් කියලා මම හිතනවා.
අපේ සංස්කෘතිය අපේ ආගම් තුළින් මේ දන්දීම කියන දේ බොහෝ ඉහළින් පිළිගන්න යහපත් ක්‍රියාවක්. ඒ පරිත්‍යාගශීලී බව මම නම් දකින විදිහට අපේ රටේ සංස්කෘතිය තුළත් ශ්‍රී ලාංකික වීම යන අනන්‍යතාවය තුළත් ශක්තිමත්ව තියෙන දෙයක්. ඒක අපි මෙවැනි අවස්ථාවල විතරක් නෙමෙයි විපතක් වුන අවස්ථාවකම ස්වභාවික විපතක්ද සිදුවුණහම අපි සියලු වාද භේද අමතක කරල අපි තුළ තියෙන පරිත්‍යාගශීලී ගතිගුණේ මතුවෙනවා. ඒක රැක ගතයුතු, අගය කළ යුතු ගුණාංගයක් එය තමයි ශ්‍රී ලාංකිකයකු වීම තුළ අපට තියෙන ශක්තිය.
පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව ලෝකය තුළ ඇස් දන් දීමේ වැඩිම රට බවට පත්වුණා. එමෙන්ම අපේ රටේ බොහෝ පිරිස් අවයව සහ වෙනත් පටක දන්දීම සිදුකරනවා.
මේ ක්‍රියාවලිය දියුණු විය යුතුයි. අවශ්‍ය නීති හරියට ක්‍රියාත්මක විය යුතුයි. මේක වානිජ ක්‍රියාවලියක් හැටියට නෙමෙයි සිද්ධ විය යුත්තේ. අපේ අමාත්‍යංශය මේක ජාතික මට්ටමෙන් ශක්තිමත් කරන දෙයක් බවට පත් කරන්න මැදිහත් වෙන බව මට කිසිම සැකයක් නෑ. ඒ නිසා නිවැරදි ක්‍රමවේදයක් හඳුන්වා දීම සහ රජය තුළින් නියාමයට ලක් විය යුතු දේවල් සඳහා පසුබිම සකස් කිරීමට අපේ රජය පියවර ගන්නවා.
මේ සඳහා මැදිහත් වුන සියළුම වෛද්‍ය වෘත්තිකයන්ට රෝහලේ කාර්ය මණ්ඩලයට විශේෂයෙන්ම අවයව පරිත්‍යාගශීලීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකයන්ට සහ මෙම පරාර්ථකාමී ක්‍රියාවට දායකත්වය ලබා දී තව කෙනෙකුට දෙවන වරටත් ජීවත් වීමට භාග්‍ය ලබා දුන් ඒ සියලුම දෙනාට මගේ හදපිරි කෘතවේදීත්වය පුද කරනවා"
මෙහිදී අවයව පරිත්‍යාග කළ පවුල්වල සාමාජිකයන්ට සමරු පලක හා තිළිණ ප්‍රධානයක්ද සිදුවිය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය වෛද්‍යවරුන් ,හෙද හෙදියන් සහ කාර්ය මණ්ඩලය සහභාගී වූහ.