මියන්මාරයෙන් 'මහාසද්ධම්මජෝතික ධජ' ගෞරව නාමයෙන් සහ භාරතයේ ආනන්ද කුමාරස්වාමි අධිසාමාජිකත්වයෙන් සම්මානිත දෙස් විදෙස්හි සුපතළ බෞද්ධ පඩිවරයකු ලෙස සම්භාවනාවට පාත්‍ර සේවාර්චිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අසංග තිලකරත්න සූරීන් වෙත හරසර පිරිනැමීමේ සමාශංසා හරසර උලෙළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහානායක අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පෙබරවාරි 02 දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
මෙම අවස්ථාවේදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
"අසංග තිලකරත්න මහතා, දේශීය සහ ජාත්‍යන්තර සම්භාෂණ රැසකට සහභාගි වෙමින් සහ නායකත්වය දෙමින් ස්වකීය බුද්ධි ප්‍රභාව වෘත්තීය සගයන් සමග බෙදා ගැනීමට සමත්වුණා. ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර බෞද්ධ සමාජය තුළ සටහන් කර තැබීම මහාචාර්ය අසංග තිලකරත්නයන්ගෙන් සිදුවූ සුවිශේෂී කාර්යභාරයක්. විවිධ මාතෘකා යටතේ ලියන ලද සිය ගණන් ශාස්ත්‍රීය ලිපි, රාජ්‍ය සම්මාන හිමි කරගත් ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක් ද විශේෂ ඇගයීමට ලක්වෙනවා.
2017 වර්ෂයේ ලංකාවේදී පවත්වන ලද එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම් දින උළෙල වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටුකළ මහාචාර්ය තිලකරත්න , මහාචාර්ය ඔලිවර් අබේනායක සමග 2600 years of Sambuddhatva : global journey of Awakening නම් ඉතා අගනා ග්‍රන්ථය පලකළා. එය ලෝකය පුරා පැතිරී ඇති බුදු සමයෙහි ඉතිහාසය හා වර්තමානය රටවල් 34ක් ආවරණය කරමින් දේශීය සහ විදේශීය ප්‍රාමාණික විද්වතුන් සාර ග්‍රන්ථ ලිපි 38 ක් ඇතුළත් කරමින් සම්පාදිත ඉතා වැදගත් කෘතියක්.
විශ්වවිද්‍යාලයේ වෘත්තීය සගයෙකු ලෙස මහාචාර්ය තිලකරත්න දීර්ඝ කාලයක් පුරා පැවති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳ ගැටලු වලදී සක්‍රීය දායකත්වය ලබා දුන්නා.
බෞද්ධ අධ්‍යයන විෂය වෘත්තීය අධ්‍යයන විෂයක් ලෙස හැදෑරීමේ අවශ්‍යතාවය ජාත්‍යන්තර තලයට ගැලපෙන සේ විමර්ශනාත්මකව සහ විශ්ලේෂණාත්මකව කරුණු ඉදිරිපත් කිරීමට එතුමා දක්වන ලද්දේ ඉමහත් උද්යෝගයක්. මෑත කාලයේ බෞද්ධ අධ්‍යයන විෂය ප්‍රමුඛ කර ගනිමින් මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා විෂය පද්ධතියේ බිහි වූ ශ්‍රී ලංකාවේ විද්වතෙකු ලෙස අගය කරන අතර එතුමාගේ ශාස්ත්‍රීය ජීවිතයට සුබ පැතුම් එක්කරමි. "
මෙම අවස්ථාවට අතිපූජ්‍ය ත්‍රීකුණාමලයේ ආනන්ද නාහිමි, ශාස්ත්‍රපති පූජ්‍ය කොස්වත්තේ අරියවිමල මාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය, ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) , මියන්මාර තානාපති Marlar Than Htalk , බෞද්ධ කටයුතු, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි, හිටපු කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් හා මහාචාර්ය අසංග තිලකරත්න මහතාගේ පවුලේ සාමාජිකයින් සහ හිත මිත්‍රාදීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ.